Amazone

September 3, 2009

Tagged Under:

දිය කඩිතිවලින් යනකොට ජෝ අයියා මාව උස්ස ගත්තා - නීටා ප්‍රනාන්දු

By: Blog Poster On: 2:40 AM

මනහර කඳුවළල්ලකින් වටවුණු මිටියාවතෙහි ගලනා රිදී වන් දිය ඇලිය. ඒ අසල රැඳි යුවළගේ ප්‍රේමාභිරංගනය මනහරය. සිත් ගන්නාසුලුය.

”පැතුව විලස මා එදා
සිතට සතුට දේ සදා|
ආදරේ ඔබේ පුදා|
සනසන්නකෝ සදා”

ගීතයට අනුව රංගනයේ යෙදෙන පෙම්වතිය සැබැවින්ම අවිහිංසකය. දඟකාරය. ලස්සන සාරියකින් සැරසී සිටින ඇය තවත් හැඩවී පෙනෙන්නේ සුළඟට ලෙළෙනා දිගු වරලසෙනි.

”ක්ලික්, ක්ලික්...

කැමරාව ක්‍රියාත්මක විය.

ප්‍රතිභාපූර්ණ දක්ෂ රංගන ශිල්පිනියක් වන නීටා ප්‍රනාන්දු මුල්ම වරට කැමරාවට මුහුණ දුන්නේ එලෙසය. එදා ඒ සුන්දර ගීතමය ජවනිකාවට පෙනී හිටීමේ භාග්‍යය ඇය උදාකර ගත්තේ “සතුටයි කඳුළයි” චිත්‍රපටය ඔස්සේය. ඇයට සහාය වූ නළුවා ජෝ අබේවික්‍රමයි.

චිත්‍රපට අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.එස්.තම්පෝට ‘සතුටයි කඳුළයි’ චිත්‍රපටයේ ගීතයක් රූගත කිරීම සඳහා නවක නිළියක අවශ්‍ය වූයේ එම අවදියේය. තම්පෝ ඇය එසේ සොයාගනු ලැබූයේ ජෙරාඩ් ප්‍රනාන්දු මාර්ගයෙනි. එවකට ඔහු ඇගේ පවුලේ ළඟම ඥාතිවරයෙකි.

1986 වනවිට සිංහල සිනමාවේ මෙන්ම ජාත්‍යන්තර කීර්තිධර නමක් ද අත්පත් කරගනිමින් දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියක් වීමට තරම් ඒ භාග්‍ය ඇය සපුරාගත්තේ, එදා ඒ ඇයට ලැබුණු පුංචි ඉඩහසරයෙනි. සැබැවින්ම ඇය සිංහල රිදී තිරය ඔපවත් කළා වූ අමරණීය රංගන අත්දැකීම් සම්භාරයක් ම හෙළ සිනමාවට එක්කර ඇති නිළියකි.

එදා තිරයේ රසිකයින් පිනවමින් රිදීතිරයේ පෙම්වතිය ලෙසින් ජනප්‍රියත්වය ලබාගනිමින් මේ වනවිට චිත්‍රපට පනහකටත් වඩා ප්‍රමාණයකට රංගනයෙන් දායකව සිටියි.

පසුකලෙක හොඳම නිළිය ලෙස මෙන්ම අන්තර්ජාතිකව ද සම්මානයට පාත්‍රව කීර්ති නාමයක් දිනා ගත්තද සිය රංගන ජීවිතයේ මුල්ම දවස පිළිබඳ ඇය පිටු පෙරළන්නට වූයේ එදා දැනුණු ඒ පුංචි හද ගැස්ම අදද හද තුළ රුවාගෙනය.

”මට එදා වගේම අදටත් හොඳට මතකයි ඒ අවස්ථාව. එදා ඒ දැනුණු චකිතය, බිය, හදගැස්ම දැනුත් මගේ හිතට දැනෙනවා.

දුහුළු මලක් චිත්‍රපටයෙන්

ඒක එක විදිහක සතුටක්. දැනුණු සතුටට නැගුණු එක විදිහේ කඳුළක්. මම මුලින්ම කැමරාවක් ළඟ නතරවුණේ අර වගේ ලස්සන ගීතමය ජවනිකාවකට රංගනයෙන් දායක වෙලා. මං වගේ ආධුනිකයෙකුට හැකිවුණා ප්‍රතිභාපූර්ණ දැවැන්ත නළුවෙක් එක්ක රඟපාන්න. ඒ මා ගෞරව කළ ජෝ අබේවික්‍රමයන් සමඟ.

එතකොට මම අවුරුදු 17ක පාසල් යන පුංචි කෙල්ලක්. ගස් වටේ දුවමින්, ගීතවලට අනුව ප්‍රේම ජවනිකාවක් රඟපාන්න වීම මට මහා ලැජ්ජාවක් වුණා. චකියත් එක්ක ලොකු බියකින් මා ගැහෙන්න පටන් ගත්තා. විවේක කාලයේදී අපේ මම්මා මාව ළඟට ගන්න කොට, මගේ මුළු ඇඟේම දහඩියෙන් පෙරිලා. ඒක මහා ලොකු අභියෝගයක්.

ඒ ජවනිකාව කීප වතාවක්ම කැමරාවට ගන්න වුණා. ඒ අභියෝගය මා ජයගත්තේ එදා ජෝ අයියා මට උපරිමයෙන් දැක්වූ සහාය, කරුණාව හා ඉවසීම නිසා. එදා ඔහු රගපෑම පිළිබඳ උපදෙස්, අවවාද ලබාදෙමින් මා දිරිමත් කළා. මම අදටත් සතුටු වෙනවා නළුවෙක් වශයෙන් ඔහු මගේ රංගනයට අත්තිවාරමක් ලබාදුන් කෙනෙකු හැටියට. ඒක වාසනාවක්. ඔය ගීත එදා රූපගත කළේ තිමති වීරරත්න.

ඒ අතීතය දැන් මා ඉදිරියේ තවදුරටත් මැවි මැවී පෙනෙනවා වගේ. එදා ඒ රූපගත කිරීමට මට යන්න වුණේ රත්නපුරය ප්‍රදේශයට. මම්මාත් මගේ පස්සෙන්ම හිටියා. ලස්සන සොබා සෞන්දර්යයෙන් අනූන, ඒ ප්‍රදේශය කඳු නිසා තරමක් යාමට දුෂ්කර තත්ත්වයක්. මට මතකයි අර වගේ දියකඩිතිවලින් යන්න වුණාම ජෝ අයියා මාව උස්සගෙන ගිහින් තියෙනවා. මම පුංචි කෙල්ලක් හින්දම. කොයිතරම් චිත්‍රපටවල රඟපෑවත් ඒ මුල්ම සුන්දර අත්දැකීමට මං ගොඩක්ම ආදරෙයි.

ඒ චිත්‍රපටය තිරගත වුණාම මගේ හපන්කම් දැකලා ගොඩක් සතුටට පත්වුණේ මගේ මම්මා. මට ඉන් ක්ෂණිකව ජනප්‍රියත්වයක් ලබා දුන්නා. පාරේ යන්නත් බැරිතරමට. එදා මට නිළියක වීමේ අවස්ථාව ලැබුණු බව පන්තියේ අයට වගේම, කටුනේරිය ගමේ අයට කීවාම, ඒ අය මට හිනාවුණා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ රංගනය හරිම ආධුනිකයි. කිසිම තේරුමක් නෑ කියලා දුන් විදිහට කළා. ඒත් අද වනවිට මට රංගනය පිළිබඳ පූර්ණ අවබෝධයක් තියෙනවා.

ළඳක මහිම චිත්‍රපටයෙන්

ඒ කොහොම වුණත් රංගනයෙන් ඉදිරියට එන්න ඒ අවස්ථාව මට ලොකු පිටුවහලක් වුණා. තම්පෝ නිෂ්පාදනය කළ ඊළඟ චිත්‍රපට දෙකේම (ළඳක මහිම, ළයට ළය) ප්‍රධාන නිළිය විදිහට රඟපාන්නත් මා තෝරාගත්තා.

හරිම සතුටකිනුයි මගේ ඒ රංගන ජීවිතය ගෙවී ගියේ. මේ හැමදේම දෛවෝපගතයි. පවුල් පසුබිමත් කලාවට පිවිසීමට හේතුවුණා. ඒ තුළින් ලැබුණු සුන්දරත්වය, වචනවලට පෙරැළීමට නොහැකියි. අදත් මා මේ ක්ෂේත්‍රයේ නියැලී ඉන්නේ ඒ ආත්ම තෘප්තියත් මේ ක්ෂේත්‍රය ගැන තියෙන ආසාවත් උනන්දුවත් නිසා. ඒ වගේම මේ වගේ දිගු ගමනක් එන්න මට හැකි වුණේ හිත හොඳ මිනිසුන් මා වටා හිටිය නිසා.

ඒත් මා බෙහෙවින්ම කැපකළේ මගේ පවුල් ජීවිතය සාර්ථක කර ගන්නට. ඊලියන්ට හොඳ බිරිඳක් වෙන්න. පාරේ බැහැලා යන්න පුළුවන් විදිහේ තමා මම චරිත වුණත් තෝරාගත්තේ.” ඒත් මගේ සැමියාගේ වියෝවින් පසුව මම අර තරම් රංගනයට කැපවුණේ නෑ.” ඇය පැවසුවාය.

ඔබට මතකද, ‘දුහුළු මලක්’ චිත්‍රපටයේ ඈ කළ රංගනය. ඒ වගේම සූරියකාන්ත, පවුරු වළලු, නිසලගිරි වගේ චිත්‍රපට? ඒ චිත්‍රපට තුළින් ඈ නිෂ්පාදිකාවක් ලෙසද ඉදිරියට පැමිණියාය.

හදවත් නැත්තෝ, රුහුණු කුමාරී, පික්පොකට්, කේසර සිංහයෝ, ගීතා, මාතර ආරච්චි, සුනේත්‍රා, ශාන්ති වැනි ඈ රැඟූ එදා තිරයේ සිතුවම් මොන තරම් ප්‍රේක්ෂකයින්ගේ හදවත් පැහැර ගත්තාද? සැබැවින්ම ඈ පෑ රංගන කෞශල්‍යයන් සදා අමරණීයයි. එය අසත්‍යයක් නොවේ.

අදටත් මම හොඳ නිර්මාණයකට දායකවෙන්න ආසාවෙන් ඉන්නවා. ‘රංගන පිපාසය’ මට කවදාවත් සංසිඳෙන්නේ නෑ. මවක් දරුවෙකුට ආදරය කරන්නේ යම් සේද, එවන් උතුම් ආදරයක් මා තුළ මේ කලාව කෙරේ තියෙන්නේ. ඒ සතුට ජීවිතය පුරාවටම රැඳිලා තියෙනවා.

Loading...