October 23, 2009

Tagged Under:

කාගෙවත් බලපෑමකට යටත් වෙන එක නම් මෝඩකමක්

By: Blog Poster On: 1:28 AM
පුංචිම තැනින් පටන් ගෙන ඉදිරියට ආ රංගන චාරිකාව දිහා අද ආපසු හැරිලා බලද්දී චතුරිකා පීරිස් කියන අපේ සොඳුරු නිළියට ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. පුංචි තිරය වගේම සිනමාවත් තම අපූර්ව රංගනයන් විදහා දක්වන්නට කදිම තෝතැන්නක් කරගත් ඈ ඒ හරහා ලැබූ ප්‍රේක්ෂක ආකර්ෂණයත් සුවිශේෂයි.

චතුරිකා......

විටෙක ඔබේ මුවට හසරැල්ලක් එක් කළ, තව වරෙක කඳුළින් ඔබේ දෙනෙත තෙත් කළ ඈ මේ ජීවන රඟ මඩලේ සැබෑ යොවුන් අසිරිය සිය රංගනයට මුසු කර ගත්තේ ඉතාමත් සංවේදීව. අපේ හදවතට දැනෙන විදිහට.

නව පරපුරේ බොහෝ නිළියන්ගේ හැකියාවන් පුංචි තිරයට පමණක් සීමාවෙද්දී චතුරිකා රිදී තිරයේත් දිදුලන තරුවක් බවට පත්වෙලා. ඒ ඇගේ දක්ෂතාවයට වාසනාවත් එකතු වූ නිසාමයි.

එන්න, අපි කතා කරමු, විමසා බලමු, ඇගේ අලුත්ම තතු පිළිබඳ මෙතැන් සිට, සැබෑම වූ සෙනෙහසින්......

ඔයා රඟපෑ චිත්‍රපට දෙකක් තිරගත වෙන්න නියමිතයි. චතුරිකා අපි කතා කරමු ද ඒ ගැන......?

ඔව්, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ආනන්ද වික්‍රමසිංහ මහතාගේ “හදවත මල් යායයි” සහ ප්‍රගීත් රත්නායකගේ “ආදරෙයි මං ආදරෙයි “ කියන චිත්‍රපට දෙකේ මම රඟපෑවා. ඒ දෙකම ප්‍රධාන චරිත. යොවුන් පෙම්වතියගේ චරිතය මම රඟපාන්නේ. නමුත් ඒ චරිත එකිනෙකට වෙනස්.

මොකක්ද ඒ වෙනස.....?

“හදවත මල් යායයි” චිත්‍රපටයේ දඟකාර, සැහැල්ලු සුන්දර යුවතියක් විදිහට මම රඟපාන්නේ.

ඒ කියන්නේ ඔයා වගේ .....?

ටිකක් විතර. විශේෂයෙන්ම මෙහි තිර රචනය හොඳට ලියලා තිබුණා. ඒ නිසා මට චරිතය ගොඩ නගා ගන්න ලොකු අනුබලයක් ලැබුණා. මම හිතන්නේ ආනන්ද වික්‍රමසිංහ වැනි ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් යටතේ රඟපාන්න ලැබීම මගේ වාසනාවක්.

එතකොට ‘ආදරෙයි මං ආදරෙයි’ චිත්‍රපටයේ මම නිරූපණය කලේ මල්මී කියලා අහිසංක දුප්පත් යුවතියකගේ චරිතයක්. ඇය ආදරයට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඒත් පෙම්වතාගේ මවුපියන්ට ගොඩක් බය පක්ෂපාතයි. ඇයත් අපේ යුවතියන් වගේ ජීවිතයේ ගොඩක් ප්‍රාර්ථනා, බලාපොරොත්තු පොදි බැඳ ගත් යුවතියක්.

මේ චරිත දෙකෙන් ඔයා වඩා කැමැති.....?

මම හිතන්නේ මේ ජීවිතයේ වෙනස් පැතිකඩ ස්පර්ශ කළ චරිත දෙකක්. චරිත අතින් වෙනස් වුණාට මේ හරහා කතා බහ කරන්නේ අපේම තාරුණ්‍යය ගැන. චරිත දෙකම එක වගේ තෘප්තියකින් මම රඟපෑවා.

ප්‍රගීත් දක්ෂ රංගන ශිල්පියකු බව අප දන්නවා . ඒත් ඔහු අධ්‍යක්ෂණයට නවකයෙක්.....?

මේ වගේ භාරදූර වගකීමක් ප්‍රගීත් බාර ගන්නේ කොහොමද කියලා මුලින් මට හිතුණා. මොකද චිත්‍රපටයක් කියන්නේ දැවැන්ත මුදලක් වැය කරලා කරන කටයුත්තක්. ඒත් රූගත කිරීම් පටන් ගත්තට පස්සේ මට තේරුණා ප්‍රගීත් ඒ කාර්යයට අතගසා තිබෙන්නේ කිසිවක් නොදැන නෙවෙයි කියන එක.

ඔහු ලේසියෙන් සෑහීමකට පත්වෙන අධ්‍යක්ෂවරයෙක් නෙවේ. අවශ්‍ය රූප රාමුව ලැබෙන කල් ඔහු ඒ ෂොට් එක ගන්නවා. ඒ වගේම දර්ශන තලයේ දී ප්‍රගීත් අපට හොඳින් සැළකුවා. අනවශ්‍ය විදිහට අපිට වෙහෙසට පත් කළේත් නැහැ. නළු, නිළියන්ගේ රංගනය සහ රූප රාමු තමයි චිත්‍රපටයක අවුට් පුට් එක වෙන්නේ. ප්‍රගීත් ඒක හොඳින් තේරුම් අරගෙන කටයුතු කළා කියලා මට හිතෙනවා.

සමකාලීන අනෙක් නිළියන්ට වඩා අපේ සිනමාවේ ඔයාට වැඩිපුර අවස්ථා ලැබුණා කියා මට හිතෙනවා .....?

අද චිත්‍රපට ගොඩක් හැදෙනවා අඩුයි. මේ තරම් බදුවලින් නිදහස් වෙලත් නිෂ්පාදකයෝ නැත්තේ ඇයි කියන එක ලොකු ගැටලුවක්. එවැනි තත්ත්වයක මේ තරමින් හරි නිර්මාණවලට දායක වෙන්න ලැබීම සතුටක්. ඒත් සිනමාවේ හරි අවස්ථාවක් මට තාම ලැබුණේ නැහැ. මාව චිත්‍රපටවලට දායක කර ගත් අධ්‍යක්ෂවරුන්ට ස්තූතිවන්ත වෙනවා.

ටෙලි නාට්‍යය නිළියක් කියන තැනෙන් මිදිලා සිනමාවේ දිගු ගමනක් යන්න ඔයාට තවත් අවස්ථා ලැබෙයි කියා මට හිතෙනවා.....?

මට ඒ කැපකිරීම කරන්න පුළුවන්. ටෙලි නාට්‍යයි, චිත්‍රපටයි එකට බදාගෙන කරන්න මට වුවමනාවක් නැහැ. නමුත් අද ආර්ථිකයත් එක්ක හැම දේම බදාගෙන කරන්න බොහෝ දෙනෙකුට සිදුවෙලා තියෙනවා. ඒකෙන් නිර්මාණයටවත්, තමන්ටවත් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ.

වානිජ සිනමාවේ වගේම කලාත්මක සිනමාවේත් චරිතාංග නිළියක් විදිහට මගේ හැකියාවන් පෙන්වන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඇත්තටම මම ලොකු කැපවීමකින් ඒ සඳහා දායක වෙනවා.

ටෙලි නාට්‍යය රංගනයෙන් අපිට සීයට සීයක්ම තෘප්තිමත් වෙන්න බැහැ. අද හැදෙන සමහර ටෙලි නාට්‍යය දිහා බලපුවාම ඒවයේ රඟ නොපා ඉන්නවා නම් හොඳයි කියලා හිතෙනවා.

ඒ කියන්නේ චතුරිකා රඟ පෑ ටෙලි නාට්‍යය සම්බන්ධයෙනුත් ඒ පසුතැවිල්ල තියෙනවා....?

ඔව්,ටෙලි නාට්‍යය කිහිපයක් ගැන, ගොඩක් වෙලාවට ඒවා කෙරුණේ යාළුකමට. තාත්තාගේ යාළුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්න බැරි වුණ වෙලාවලුත් තියෙනවා.

එහෙම බෑ කියන්න බැරිකමට කෙරුණ ටෙලි නාට්‍යය ගැන මම සෑහීමකට පත් වෙන්නේ නැහැ. හැබැයි අද මම ටෙලි නාට්‍යයක් හරි චිත්‍රපටයක් හරි බාර ගන්නේ ඒ ගැන දෙවරක් හිතලා.

කොහොම වුණත් තවත් සුවිශේෂ ටෙලි නාට්‍යයක, සුවිශේෂ චරිතයක් රඟපෑමේ භාග්‍යය පසුගිය දිනවල ඔයාට උදා වුණා.....?

“ ස්වයංජාත” නවකතාව ඇසුරින් සුදත් රෝහණ අධ්‍යක්ෂණය කරන “ස්වයංජාත” ටෙලි නාට්‍යයේ “පබා”ගේ චරිතය රඟපෑමේ වරම මට ලැබුණා. ඒක ලොකු දෙයක්. චරිතාංග නිළියක් විදිහට මගේ හැකියාවන් පෙන්නුම් කරන්න ලැබුණ හොඳ අවස්ථාවක් විදිහටයි මම ඒක දකින්නේ. “පබා” අවුරුදු විසි එකක වයසේ ඉඳලා අවුරුදු හැට දක්වා විහිදෙන චරිතයක්

“පබා” ගැන මොකද හිතෙන්නේ ......?

ඇය බොහොම සුන්දර, ඒ වගේම ඥානාත්විත යුවතියක්. පබා තමන්ගේ මවුපියන්ට, සොයුරියට ගොඩක් ලැදියි. ඈ තමන්ගේ ඥාති සොහොයුරා වූ විභූතිරත්නට ජීවිතය ගැන සුබවාදීව හිතන්න පොළඹවනවා. ඒ දෙන්නා අතර තියෙන්නේ ආධ්‍යාත්මික බැඳීමක්. “ස්වයංජාත” නවකතාවත් මම ආසාවෙන් කියවපු පොතක්. “පබා” මගේ රංගන දිවියේ රඟපාන්න ලැබුණ සුවිශේෂ චරිතයක් කියා මට හිතෙනවා.

චතුරිකාට ගොඩක් වෙලාවට රඟපාන්න ලැබුණේ පෙම්වතියගේ චරිත. මේ නිසා රංගනයේ ඒකාකාරී බවක් ඔයාට දැනුණේ නැද්ද....?

පවුල් පසුබිම හා හැදෙන, වැඩෙන රටාවත් එක්ක තමයි බොහෝ විට මේ චරිත එකිනෙකට වෙනස් වෙන්නේ. ඒ වගේම බාහිර සමාජයත් එක්ක ඔවුන් ගනුදෙනු කරන විදිහ. සමහරු තමන්ගේ පෙම්වතාට බයයි. තවත් කෙනෙක් පෙම්වතාව සත පහකට ගණන් ගන්නේ නැහැ.

ප්‍රේම සම්බන්ධතාවලදී ඇතැම් තරුණියෝ ගොඩක් විවෘතයි. නමුත් මවුපියන්ට ගරු කරනවා. මේ වගේ නොයෙක් ආකාරයේ ගතිගුණ තිබෙන පෙම්වතියෝ තමයි අපේ සමාජයේ ඉන්නේ. අධ්‍යක්ෂවරයා මගෙන් බලාපොරොත්තුවන දේ, මාව හසුරවන විදිහත් එක්ක තමයි පෙම්වතියගේ ස්වභාවය මොන වගේ ද කියලා තීරණය වෙන්නේ. මට ලැබුණ විවිධ චරිත සාර්ථකව රඟපෑවා කියලා මට හිතෙනවා.

මුලින්ම තෝරා ගත් නළු නිළියන් නෙවෙයි ඇතැම් නිර්මාණවලට අවසානයේ රංගන දායකත්වය ලබා දෙන්නේ. එවැනි අවස්ථාවල චතුරිකා වෙනත් නිළියන් ප්‍රතික්ෂේප කළ චරිතය බාර ගන්නේ නැහැ කියන කතාව ඇත්ත ද?

මෙහෙමයි. මුලින්ම මම කතා කරලා ඒ අදාළ නිළියගෙන් අහනවා ඒ ප්‍රතික්ෂේප කිරීමට හේතුව. නිෂ්පාදකයා පොල්ලක් තියලා හරි එහෙම නැතිනම් නිළියගේ පැත්තෙන් ඇයට අසාධාරණයක් වෙලා තියෙනවා නම් හරි මම ඒ චරිතය බාර ගන්නේ නැහැ. තිර පිටපතේ අඩුපාඩුවක්ද කියලත් විශේෂයෙන්ම බලනවා.

එහෙම නැතුව දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා කෙනෙක් තමන් බාර ගත්ත චරිතය රඟ නොපාන්න තීරණය කර තිබුණා නම් අන්න ඒ වගේ අවස්ථාවල ඒ චරිතය මට ගැළපෙනවා නම් බාර ගන්නවා. ඒක මානුෂීය ප්‍රශ්නයක් නිසා.

නිළියන්ට නිෂ්පාදක, අධ්‍යක්ෂවරුන්ගේ අනිසි බලපෑම්වලට ලක්වෙන්නට සිදුවන අවස්ථාත් අපට, අහන්න දකින්න ලැබෙනවා. සමහරුන්ට තමන්ගේ වෘත්තීය පැවැත්මට ඒවාට අවනත වෙන්නත් සිදු වෙනවා ඇතැම් වෙලාවට.....?

එහෙම කාගෙවත් බලපෑමකට යටත් වෙන එක නම් මෝඩකමක්. මම පැහැදිලි ගමනක් ඇවිත් තියෙනවා. ආත්ම ගෞරවය විනාශ කර ගෙන තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න හදන එක මහ මෝඩකමක්. මුළු ජීවිත කාලයම ඒක විඳවන්න වෙනවා. ආත්ම ගෞරවයකින්, අභිමානයකින් සමාජයට මුහුණ දෙන්න බැරි වෙනවා එතකොට.

ඔයාට කවදාවත්, කාගෙන්වත් එහෙම බලපෑමක් ඇවිත් නැහැ.....?

ඇත්තටම නැහැ. මම හිතන්නේ කෙනෙක් සමාජයේ හැසිරෙන විඳිහ අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඕනෑම කෙනෙක් දැනගෙන ගින්දරට අත දාන්න යන්නේ නැහැනේ.

ඒ කියන්නේ චතුරිකා ගින්දර වගේ සැරයි?

මම ඕනෑම කෙනෙක් එක්ක කෙලින් කතා කරන කෙනෙක්. ඒ නිසා ද මන්දා මට ගොඩක් වෙලාවට අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා නැහැ. රොෂාන් වුණාත් පුරුෂාධිපත්‍ය කියන දේ ඔළුවෙ තියාගෙන වැඩ කරන කෙනෙක් නෙවේ.

අපි දෙන්නා සමානයි කියලා තමයි එයා හිතන්නේ. ඒ නිසා ඔහු මට ගරු කරනවා. මමත් ඔහුට අයුතු බලපෑම් කරන්න යන්නේ් නැහැ.

ඉස්සර අපේ නළු, නිළියන්ට තිබුන ආකර්ෂණය, ආදරය අද වෙන කොට මම හිතන්නේ අවප්‍රමාණය වි තියෙනවා. ඒකට හේතුව හැටියට ඔයා දකින්නේ.....?

මම හිතන්නේ අපේ සිනමාවට ජාතික ප්‍රතිපත්තියක් නැතිකම. රංගන ශිල්පය හදාරන්න, වැඩි දියුණු කර ගන්න අපට ආයතනයක් නැහැ. විශේෂයෙන්ම ටෙලි නාට්‍ය නිර්මාණකරණයේ දී අද සිදුවෙලා තියෙන්නේ ආයතන මගින් දෙන බජට්වලට ටෙලි නාට්‍යය හදන්න.

මේ නිසා කවුරු හරි පාරේ යන කෙනෙක් දාලා හරි වැඩේ කරන්නයි කවුරුත් හදන්නේ. එහෙම රඟපාන්න එන අයට කිසිම වෘත්තීය සුදුසුකමක් නැහැ. ඔවුන්ගේ හැසිරීම් රටාව වෙනස්. අනෙක් කෙනාට ගරු කිරීමක් නැහැ.

මෙවැනි තත්ත්වයන් නිසා අද බොහෝ නළු නිළියෝ සමාජයේ අතිශය සාමාන්‍ය චරිත බවට පත්වෙලා. ඉස්සර නළු නිළියන්ට වෘත්තිය වටිනාකමක් තිබුණා. ඒ නිසා තමන්ව නඩත්තු කර ගන්නත් ඔවුන්ට පුළුවන් වුණා. ඒත් අද එහෙම නඩත්තු වෙලා ඉන්නේ කීප දෙනෙක් විතරයි.

ඒක නෙවෙයි දැන් කවදද වෙඩිං එක.......?

තාම දවස තීරණය කරලා නැහැ. එහෙම වුණදාට මුලින්ම “සරසවිය” ට කියන්නම්.

මේ අවුරුද්දෙම.....?

මේ අවුරුද්ද දැන් ඉවරයිනෙ.

එහෙම නම් 2010 වසර ඔයාගේ ජීවිතයට වාසනාවන්ත, සිතුම් පැතුම් ඉටුවෙන වසරක් වේවා කියලා ඔන්න වේලපහම අපි ප්‍රාර්ථනා කරනවා.

සරසවියේ ඔයාලා සියලු දෙනාටත් එසේම වේවා!

Loading...