December 18, 2009

Tagged Under:

පුංචි තිරයේ අහිංසකාව නිල්මිණි තෙන්නකෝන්

By: Blog Poster On: 3:28 AM

පුංචි තිරයේ අහිංසකාව නිල්මිණි තෙන්නකෝන්

ආදරයේ වටිනාකම, අගය කෙනෙකුට වැඩියෙන්ම දැනෙන්නේ ඒ ආදරයේ උණුසුම අහිමි වුණාට පස්සේ. ඒත් ආදරය කියන්නේ සිර කරලා, විලංගු දාලා එක තැනක තියා ගන්න පුළුවන් දෙයක් නොවේ. හරියට අත්තෙන් අත්තට පනින පුංචි කුරුල්ලෙක් වගේ.

ඒ වගේම ජීවිතයක වටිනාකමක් තදින්ම අපේ සිතට දැනෙන්නේ මරණයේ දොරටුව ළඟදි කියලා මම අහලා තියෙනවා. ඒ අත්දැකීමට මුහුණ දුන් කෙනෙකුට හුස්ම පොදක අගය වදන් දහසකින්වත් කියා ගන්නට බැරිව ඇති.

හැබැයි ජීවිතය කියන්නේ සිනා සාගරයක්වත්, කඳුළු උල්පතක්වත් විතරක් නෙවේ. මේ දෙකේම අපූරු සංකලනයක්. ජීවිතය දිගු හසරැල්ලක් වෙනවාට වඩා පුංචි පුංචි කඳුළු කතා ඒකට එකතු වුණාම තමයි අපි හැබෑවටම ජීවත් වෙනවයි කියන සුන්දර හැඟීම සිතට දැනෙන්නේ.

ඒ ජීවිතයත්, ආදරයත් ගැන ඉතාම සරලව මට හිතෙන හැටි. මා එක්ක එකඟ වන අය වගේම නොවන අයත් ඉන්න පුළුවන්. ඒත් මේ මට හිතෙන හැටි. ඒ සිතිවිල්ලට නිමිත්ත වුණේ පුංචි තිරයේ අහිංසකාව, ජනපි‍්‍රයත්වයෙන් මෙන්ම විශිෂ්ටත්වයෙන් ද පිරිපුන් අපේ ආදරණීය නිළිය නිල්මිණි තෙන්නකෝන් ගැන ලියන්නට සැරසෙන මේ ලිපිය.

ඉතිං, කොහොම ද නිල්මිණි මොනවද අලුත් තොරතුරු ........?

කවදත් ළෙන්ගතු සිනහව අදත් නොවෙනස්ව ඈ වතෙහි දිදුළන්නේ අපේ කතාබහට සොඳුරු ආරම්භයක් ලබා දෙමින්.....

කියන්න තරම් වරදක් නැහැ. සතුටෙන් ඉන්නවා. පසුගිය කාලේ මම ටෙලි නාට්‍යය කිහිපයකම රූගත කිරීම් අවසන් කළා. සසර සරණී, හිතුවක්කාරි, දිය යට ගිනි, සහ තවත් ටෙලි නාට්‍යයකට මම රංගනයෙන් දායක වුණා.ඒවා ඉදිරියේදී විකාශය වීමට නියමිතයි.

මොන වගේ චරිත ද ඔයාට රඟපාන්න ලැබුණේ ?

“සසර සරණී” ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ දසසිල් මැණියකුගේ චරිතයක්. එතකොට ‘හිතුවක්කාරී’ ටෙලි නාට්‍යයේ වලං හදන, දුක්බර ජීවිතයක් ගත කරන කාන්තාවකගේ චරිතයක් මම නිරූපණය කළා. “දිය යට ගිනි”ටෙලි නාට්‍යයේ චරිතය මේ දෙකටම වෙනස්. ඒක රහස් පරීක්ෂක කතාවක්. රූමත්, විවාහක කාන්තාවකගේ චරිතයක් මට එහි රඟපාන්න තිබුණේ. ඒකේ කතාව කියන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපරාදේ.

තවත් ටෙලි නාට්‍යයක මම රඟපෑවා. නමුත් ඒකට තවම නිශ්චිත නමක් යොදා නැහැ. මම හිතන්නේ ඒ චරිතය මගේ රංගන ජීවිතයේ විශාල පෙරළියක් වේවි. ජීවිතයේ අනන්ත දුක් ගැහැට විඳ දරා ගෙන ජීවත් වෙන්න උත්සාහ දරන කාන්තාවකගේ භූමිකාවක් එය. අවසානයේදී ඇයට පිස්සු හැදෙනවා. ඉතාමත් ආසාවෙන් මම ඒ චරිතය කළේ.

නිල්මිණි, ලැබෙන හැම ආරාධනාවක්ම පිළිගන්නවා ද?

නැහැ, ඇත්තටම මම එදා ඉඳන්ම රඟපෑවේ තෝරා බේරාගෙන. අදටත් ඒකේ වෙනසක් නැහැ. ඒ නිසා ඇතැම් ටෙලි නාට්‍යය මට ප්‍රතික්ෂේප කරන්න වුණා. නමුත් තවත් පැත්තකින් අපට අසාධාරණයක් වෙනවා. අපි රඟපාන ටෙලි නාට්‍යය විකාශය වෙන්න අද නාළිකාවක්, විකාශන කාලයක් නැහැ.

මට වුණත් නිෂ්පාදන කටයුත්තකට අත ගහන්න ලොකු වුවමනාවක් තියෙනවා. අපිට බෙල්ට් එකක් නැහැ. අන්තිමට ඉනට දාන බෙල්ට් එකක් තමයි හොයා ගන්න වෙලා තියෙන්නේ. මේක මට විතරක් වුණ අසාධාරණයක් නෙවෙයිි. ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයේ ගොඩ දෙනෙකුට මේ ප්‍රශ්නය තියෙනවා.

ඔය කියන්නේ මෙගා ටෙලි නාට්‍යය නිසා ඒ ඉඩකඩ ඇහිරුණා කියල ද?

මේ ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල, නිළියක් හැටියටයි මම කතා කරන්නේ. ඇත්තෙන්ම අධ්‍යක්‍ෂවරුන්ට විශාල අසාධාරණයක් වෙනවා මේ මෙගා ටෙලි නාට්‍යය නිසා. ඒ වගේම නිෂ්පාදකයන්ට පවා.

දැන් මමත් භාගයක් මුදල් යොදවා කළ ටෙලි නාට්‍යයක් තියෙනවා. නමුත් විකාශය කරන්න බෙල්ට් එකක් නැහැ. අපි මේක ජනාධිපතිතුමාටත් කිව්වා. ඇත්තෙන්ම මේ ටෙලි නාට්‍යය එක්තරා රූපවාහිනී නාළිකාවකින් පවා අනුමත කළා. නමුත් ඔවුන්ගේ මෙගා ටෙලි නාට්‍යය නිසා අරක දිහා හැරිලාවත් බලන්නේ නැහැ.

එතකොට ඔයා රඟ පෑ “දූ - දරුවෝ “ අපේ දීර්ඝ ටෙලි නාට්‍යය රැල්ලේ ආරම්භය කියලා කෙනෙක් තර්ක කළොත්.....?

ඔව් “දූ දරුවෝ” මෙගා ටෙලි නාට්‍යයක් තමයි. ඒත් ඇත්තෙන්ම එතන තිබුණේ කලාවක්. අනෙක තවත් ටෙලි නාට්‍යය විකාශය කරන්න ඕනෑ තරම් බෙල්ට්ස් තිබුණා. “දූ දරුවෝ” විකාශය වුණේ සතියකට එක වතාවයි. අද සමාජය, ලෝකය, තාක්ෂණය දියුණු වෙලා. මේ ක්ෂේත්‍රයට යොමු වෙලා ඉන්න පිරිස වැඩියි. ඒ අතරේ අහිංසක නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු ඉන්නවා. ඔවුන් රැක ගන්න නම් අපි මේ මෙගා ටෙලි නාට්‍යය රැල්ලට එරෙහිව වැට බඳින්න ඕනෑ.

ඒ කතාවට තිබෙන පදනම මොකක්ද.......?

මෙගා ටෙලි නාට්‍ය වල කිසිම අර්ථයක් නෑ. ඒ වගේම නළු නිළියන්ගේ රංගනයේ කිසිම සුවිශේෂී බවක්, හැකියාවක් ඉස්මතුවීමක් මා දැක නැහැ.

නමුත් මේ මෙගා ටෙලි නාට්‍යය කර්මාන්ත නිසා යැපෙන විශාල පිරිසක් අද ඉන්නවා. සමහරෙකුගේ ජීවනෝපාය වෙලා තියෙන්නේ මෙගා ටෙලි නාට්‍ය....?

ජීවනෝපාය කියලා මේ වගේ දේවල්වලට සම්බන්ධ නොවී එහෙනම් එයාලට කඩයක් දාගන්න තිබුණා. ඒක තමයි හොඳම දේ, කලාව බිස්නස් එකක් කර ගන්න හොඳ නෑ.

එතකොට ඔයා කවදාවත් මේක බිස්නස් එකක් කරගත්තේ නැහැ....?

අපෝ නැහැ. කවදාවත් නැහැ. අපි නිකං ගිහින් රඟපාලා තියෙනවා. ඒ අපි ටෙලි නාට්‍ය කලාවට ආදරය නිසා. මම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට එක්වුණේ ඩී.බී. නිහාල්සිංහයන්ගේ “දිමුතු මුතු” ටෙලි නාට්‍යයෙන්. ඉන් පසු මට ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් රැසක් යටතේ රඟපාන්න අවස්ථාව ලැබුණා. අපි ඒ අයගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා. ගුරු හරුකම් ලැබුණා අපට. ඒ බොහෝ දෙනෙක් අද මේ කලාවෙන් ඈත් වෙලා. දැන්වත් මෙගා නවත්වන්න ඕනෑ.

අද බොහෝ තරුණ තරුණියන් රංගනයට යොමුවෙලා ඉන්නවා. ඒ බොහෝ දෙනෙක් ප්‍රේක්‍ෂක අවධානය දිනා ගන්නේ, ජනපි‍්‍රයත්වයට පත් වෙන්නේ මේ මෙගා ටෙලි නාට්‍ය හරහා. ඔවුන්ට කියන්න විශේෂ යමක් තියෙනවා ද?

අපි මේ යම්කිසි දෙයක් රඟපෑම ගැන ඉගෙන ගත්තා නම් ඉගෙන ගත්තේ චරිත රාශියක් කරලා. විවිධාකාර චරිත අපට ලැබුණා. දැන් ඉන්න ළමයින්ට ඒ වගේ චරිත ලැබෙනවද? එවෙලේ ලියලා දෙන තිර පිටපත්වලට තමයි ඒ අය ගොඩක් වෙලාවට තමුන්ගේ රඟපෑම් ඉදිරිපත් කරන්නේ. ලොකේෂන් එකට ඒ කොලේ අරන් ආපුවාම අර ළමයි ඒක බලාගෙන ඇක්ට් කරනවා. ඒ අය වැඩි දෙනෙක් සෙට් එකේ ඉන්නේ ඒ ගොල්ලන්ගේ ජංගම දුරකතනයන් එක්ක. ඉතින් මේක තමයි චරිතය කියලා අර කොළේ දුන්නම ඒ අය කෙහොමද රඟපාන්නේ.

“දූ - දරුවෝ “ වගේ ටෙලි නාට්‍යයක් එක්ක සංසන්දනාත්මකව බලද්දී අද හැදෙන ටෙලි නාට්‍ය ගැන නිල්මිණිට මොකද හිතෙන්නේ.......?

අම්මෝ, විශාල වෙනසක්. ඒවායේ හිටියේ දැවැන්ත නළු, නිළියන්. සෝමවීර සේනානායක ගේ පිටපත, නාලන් මෙන්ඩිස්ගේ අධ්‍යක්ෂණය. ඒ සුසංයෝගයෙන් තමයි මේ ටෙලි නාට්‍යය නිර්මාණය වූණේ. මට තාම මතකයි දීප්තීගේ චරිතයට අවශ්‍ය වුණේ කොට කොණ්ඩයක්. මට විග් එකක් දාන්නයි මුලදී අදහස තිබුණේ. සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය ළඟට මාව එක් කරගෙන ගියා.

එතන දී මම ඇහුවා, විග් එකක් නොදා මගේම කොණ්ඩෙ කොට කරලා පෙන්නන්න ද කියලා. මම එවෙලේ හදලා පෙන්නපු කොණ්ඩේ තමා ‘ දූ – දරුවෝ “ එසේ අනුමත කළේ. කොටස් දෙසීයක් යනකල් ඒ කොණ්ඩේ හැමදාම දාගත්තේ මම. අවුරුදු ගාණක් ඒ වැඩේ කළා මේකප් ආටිස්ගේ උදවු නැතිව. ඒකේ පළමුවැනි දර්ශනය රූගත කළාට පස්සේ සෝමවීර සේනානායකයන් ඒක නැරඹුවා. බලලා කිව්වේ මොකක් ද නිල්මිණි ගේ සීන්ස් රී ෂූට් කරන්න කියලා.

ඇයි ඒ......?

මොකද දීප්තිට කවදාවත් ටයිට් ජීන්ස් අඳින්න බැහැ. එයාගේ ඔළුවේ හිටියේ සුදු ෂර්ට්, බාච්චු කලිසම් ඇඳ ගත්තු කෙල්ලක්. නිල්මිණි ගේ ඇෙඟ් තියෙන හැඩේ පෙන්නන එපා. ඒ චරිතෙ වැටෙනවා එහෙම වුණොත්. එයා හැඩට අඳින කෙනෙක් නෙමේ. බොහොම සරලව අඳින පළඳින කෙනෙක් කියලා සෝමවීර සේනානායකයන් තමන්ට අවශ්‍ය පරිදි දීප්තිගේ චරිතය ලබා ගන්න අපට උපදෙස් දුන්නා. ඒ සීන්ස් නැවත රූගත කළා. මම මේ පොඩි උදාහරණයක් කිව්වේ. අන්න ඒ සහයෝගය, සම්බන්ධය නිසා තමයි දීප්තිගේ චරිතය අර තරම් සාර්ථක වුණේ. අද වගේ එහෙම කැපවීමක් කරයි ද.....?

සමහරු තාමත් ඔයාට කතා කරන්නේ දීප්ති කියලලු ?

අදටත් ඇත්තටම මට එහෙම කතා කරන අය ඉන්නවා. “දූ දරුවෝ” මතක් කරනවා. අදටත් සැලෝන්ස්වලට ගිහින් අපිට දීප්ති කට් එක දෙන්න කියලා ඉල්ලන තරුණියෝ ඉන්නවා. ඒ කාලේත් දීප්ති කට් කියලා එකක් හැදුණා. ඒ අපි කරපු දේවල්. මම කරපු ගොඩක් ඩ්‍රාමාස්වල ඒ ඒ කාලෙට දාලා තිබුණ හෙයාර් ස්ටයිල්ස් ඉම්ටේට් කළා. ජනපි‍්‍රයත්වය විතරක් නෙවෙයි. මම හිතන්නේ සාර්ථකත්වයත් තිබුණා ඒ චරිතවල. ඒකයි අපිව එයාලා අනුකරණය කළේ.

ඒ එදා, නමුත් අද ඒ වගේ නිවිහැනහිල්ලේ රඟපාන්න පුළුවන් වටපිටාවක් නෙවේ තියෙන්නේ. හැමතැනම කාර්ය බහුලයි. එදා නිල්මිණී තෙන්නකෝන් ගේ ඒ සංවේදී රංගනයන් අදත් අපට දැක බලාගන්න පුළුවන් කියල ද ඔයා කියන්නේ.

අනිවාර්යයෙන්ම. මම පසුගිය කාලේ ටෙලි නාට්‍යය කරද්දී එක සීන් එකක් කළොත් ඊළඟ එකට සූදානම් වෙද්දි පිටිපස්සෙන් ඇවිත් ඉන්නවා ;කාස්ටියුම්ස් අරගෙන. මම කවදාවත් කරන්නේ නැහැ ඒ විදිහට. හදිසිම අවස්ථාවක් තිබ්බොත් හැරෙන්න. කාගෙවත් ප්‍රොඩක්ෂන් එකක ලාබය සඳහා මම මගේ චරිතය පාවා දෙන්නේ නැහැ. සමහරු දවසකට කොස්ටියුම්ස් පහළොවක් විතර මාරු කරලා බිත්තියකට හරි හේත්තු කරලා ෂොට්ස් ටික ගන්නවා පස්සෙ ඩබ් කරනවා කියලා. ඒ වගේ වැඩ මම නම් කරන්නෙම නැහැ.

රඟපෑමේ දී එක් අන්තයකට කොටු නොවී විවිධ පරාසයන් කරා විහිදුණු චරිත රඟපෑමේ අවස්ථා ඔයාට ලැබුණා ද......?

මම හිතන්නේ ඒ අතින් මගේ පරම්පරාවේ මම තරම් වාසනාවන්ත වෙනත් නිළියක් නැහැ. මම රංගනය පටන් ගත්තේ පාසල් කාලේ ඉඳන්. මට අවුරුදු පහළොවක් විතර ඇති එතකොට. බ්‍රහස්පතින්දා, සිකුරාදා දවස්වල ස්කූල් කට් කරලා ඇවිත් තමයි ෂුටිං කළේ. ඉස්කෝලෙන් මට ලොකු කරදරයක් ඇති වුණා එතකොට. ඒ පටන් ගත්ත පටන් ගැනිල්ල මේ වෙනතුරුත් මම විවිධාකාර චරිත තුළින් ප්‍රේක්‍ෂකයන් අතරට ගියා. “ කුමාරයාණනි, “ නිදිකුම්බා මල්” ටෙලි නාට්‍යවල චරිතවල නම්වලින් අදටත් මිනිස්සු මට කතා කරනවා. මට නිල්මිණි තෙන්නකෝන් කිව්වම නොදන්න කෙනෙක් අද නැහැ. එදා තිබුණ ජනපි‍්‍රයත්වය තවමත් මට තියෙනවා.

එතකොට අද ඉන්න ඕනෑම නිළියක් එක්ක ඔයාට තරග කරන්න පුළුවන්.

ඔව්...... ඇත්තටම

කිසිම බයක් නැහැ.

බය නැහැ.

ඇත්තම කිව්වොත් අපි දන්න නිල්මිණි ජීවිතයේ නොයෙක් හැල හැප්පීම්වලට මුහුණ දුන් ගැහැනියක්. ඔයාගේ පෞද්ගලික ජීවිතයට සමාන චරිත කවදාවත් රඟපාලා නැති ද.....?

තියනවා, අනිවාර්යයෙන්ම තියෙනවා. එහෙම ඒවා වගේම ඇතැම් චරිත රඟපෑමට පස්සේ ඒවා මගේ ජීවිතයේ ඇත්තටමත් වෙලා තියෙනවා.

උදාහරණයක් කියන්න බලන්න.....?

ගොඩක් ඒවා. ‘නිදිකුම්බා මල්’, එතකොට ‘ලේ කිරි කඳුළු චිත්‍රපටය ගත්තොත් ඒකේ ලොකු රිය අනතුරක් තියෙනවා. මටත් ඇත්තටම ඒ අත්දැකීමට මුහුණ දෙන්න වුණා. ඒ වගේම මගේ ජීවිතේ සමහර සිද්ධි රඟපෑ චරිත හා සංසදනය වෙලා තියෙනවා. රඟපෑවට පස්සේ, සමහරක් එව්වා මගේ අත්දැකීම් තුළින් චරිතයට ගොනු වෙලා තියෙනවා.

ඇත්ත, මට දැන් ජීවිතය ගැන අලුතෙන් හිතන්න පුළුවන්. ඒ රිය අනතුර ගැන මම මේ දවස්වල පොතක් ලියාගෙන යනවා. ඒ කරුණු ගැන කවුරුත් විශ්වාස කරන එකකුත් නැහැ. මට පුංචි දුකක් තියෙනවා. මගේ රිය අනතුරටත් සමහරක් අය නොයෙකුත් කතා හැදුවා.

ඇත්තටම මම මැරිලා හිටියේ. ඒ මැරිලා හිටිය මටත් ගොඩක් කතා හදලා තියෙනවා සමහරු. මම සහ මගේ හිත දන්නවා මොකද වුණේ කියලා. ඔබ කිව්වා වගේ වෙනස් අලුත් ජීවිතයක් මට ලැබුණා. ඒක මට දෙවියෝ දුන්නේ. මගේ දරුවාව ජීවත් කරවන්න මැරෙන්න එපා. මෙහෙ එන්න එපා මට යන්න කිව්වා. මම ගියා. ඇත්තටම මම උඩින් ගියා . මම සේරම දේවල් දැක්කා.

මේ සියල්ල දැකලා ආපහු ආව කෙනෙක් මම.

ඇත්තටම කියන්නකෝ කොහොම ද දැන් ශ්වේතා දූ .....?

එයා ලයිසියම් ජාත්‍යන්තර විදුහලේ තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. ශ්වේතා ඉගෙනීමට වගේම ගීත ගායනටත් හරිම දක්‍ෂයි. කැමැතියි. හැබැයි එයා කියන්නේ හොඳට ඉගෙන ගෙන ටීචර් කෙනෙක් වෙන්න ඕනෑ කියලයි. චිත්‍රපට, ටෙලි නාට්‍යය කිහිපයකටම එයාල කතා කළා. ඒත් දුව කැමැති වුණේ නැහැ.

හොඳයි.......දැන් නිල්මිණි අලුත් වැඩකට අත ගහලා ඉන්නවා.”මෙගා ස්ටාර්” වැඩ සටහනෙන් ඔයාගේ ගායනා හැකියාවත් රටට පෙන්නන්න අවස්ථාව දැන් උදාවෙලා.....?

ඇත්තටම මෙතන හොඳම ගායකයෙක් හෝ හොඳම ගායිකාවක් බිහි කරන්න නෙවෙයි මේ වැඩ සටහනේ පරමාර්ථය වෙලා තියෙන්නේ. මේක රියැලිටි පෝග්‍රෑම් එකක් ස්ටාර් කෙනෙක් තෝරන. මට අමුතුවෙන් ස්ටාර් කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ. මම මේ රටේ ස්ටාර් කෙනෙක්. ලංකාවේ තියෙන හැම සම්මාන උළෙලෙකම ජනපි‍්‍රය නිළිය වෙලා තියෙනවා. ස්ටාර් කෙනෙක් වෙන්න මට ආයේ ඕනෑ නැහැ.

නමුත් අපේ ජීවිතවලට හැමදාමත් වෙනසක් අවශ්‍යයි. වැරැදි දෙයක් නොවෙයි නේ මේක. වෙනසක් ඕනෑ නිසා ඒ වෙනසට මම කැමැති වුණා. ගොඩක් අය මට දොස් කියනවා අදටත් මේකට ගියා කියලා. නමුත් මම හිතනවා මෙතනදි අපට හානියක් වෙන්න නැතිව යම්කිසි වෙනසක් කරන්න හැකිවේවි කියලා.

Loading...