February 20, 2010

Tagged Under:

ගීතා-පාලම යටින් මැති සභයට

By: Blog Poster On: 6:27 AM
විශිෂ්ටත්වය, ජනප්‍රියත්වය, රූපය, ධනය, කීර්තිය ඈ මෙකී නොකී බොහෝ දෑ වලින් පිරිපුන් අපේ ආදරණීය සිනමා නිළිය කවුරුන්දැයි මා ඔබෙන් විමසුවහොත් එක්වරම ඈ ඔබේ මතකයට නැගෙනු ඇත.

අප ඈ හඳුන්වන්නේ සිංහල සිනමාවේ වාසනාවන්තම නිළිය ලෙසිනි.

ඒ ගීතා සමන්මලී කුමාරසිංහ බව නොදන්නා කිසිවකුත් නැත.

පසුගිය කාලයේ ඈ අපේ සිනමාවෙන් මඳක් දුරස්ව සිටිය ද, ඈ පිළිබඳ සොඳුරු මතකයන් ප්‍රේක්ෂක මනසෙන් බැහැරව ගොස් නොතිබිණ. ඒ සිනමා නිළියක ලෙසින් ඈ ගොඩ නගා ගත් ආකර්ෂණීය ප්‍රතිරූපය සැමදාමත් විරාජමාන වූ නිසාය.

ඉකුත් ජනාධිපති මැතිවරණ සටනේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට සහාය පළ කළ කලාකරුවන් අතර ගීතා ද පෙරමුණේම සිටි බව කිසිවකුට රහසක් නොවේ. ඈ එසමයෙහි දේශපාලන පොර පිටිය උණුසුම් කළ අපූර්ව, පෙරළිකාර චරිතයක් වූවාය.

අද අප මේ කතාබහ කරන්නට සැරසෙන්නේ ඒ දේශපාලන ප්‍රවණතාවේ ඇගේ අලුත්ම භූමිකාව පිළිබඳය.

‘දකුණෙන් අපේ ගීතා ගාලු දිසාවට සත්තකින්ම ඔබ වෙනුවෙන්’.

පොදු ජන වරම පතමින් මෙවර මහ වැතිවරණයට ඈ ඉදිරිපත්ව සිටින්නේ ඒ ආදර්ශ පාඨය සමඟිනි. එය අපේ දේශපාලන පොර පිටියේ තවත් එක් හුදු සටන් පාඨයක් නොවනා වග නම් මට විශ්වාසය.

මුලින්ම කියන්න ඇයි ඔබ මේ වගේ ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්න තීරණය කළේ?

මටම ආවේනික වෙච්ච දේශපාලනයක් හැමදාම මගේ ජීවිතය පුරාම තිබුණා. මම හිතනවා මම කිසියම් දේශපාලනයක් කළා කියලා. මගේ චරිත ස්වභාවයේම ඒ දේ තිබුණා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මම නිතරම අසාධාරණයට එරෙහිව සටන් කළා. සමහර විට මම එවැනි දේ නොකළා නම් මීට වඩා චිත්‍රපට රැසක රඟපාන්න මට අවස්ථාව ලැබෙන්න තිබුණා. මම හිතන්නේ දේශපාලනය කියන්නේ අපි අනෙකා කෙරෙහි මනුෂ්‍යත්වයකින් සිතීම. ඒ මනුෂ්‍යත්වයෙන් සිතීමේ ගුණය මා තුළ මුල සිටම තිබුණ දෙයක්.

සිනමා නිළියක වෙන්නටත් පෙර සිටම?

මගේ ගෙදරදිත් තිබුණා. මම කිසි දවසක ජාති, කුල, ආගම් බේද තුට්ටුවකටත් ගණන් ගත්තේ නැති කෙනෙක්. මුළු මනුෂ්‍යය වර්ගයාම එකම ජාතියකට, කුලයකට අයත් පිරිසක් කියන තැනයි මම හිටියේ. මගේ ගෙදර අය විතරක් නෙවේ ගමේ උදවිය පවා ඒ ගැන දන්නවා. යන්තම් අවුරුදු දාහත වෙද්දී මම සිනමාවට ආවා. සිනමාවේ මම මේ තරම් දුරක් ආවේ මගේ දක්ෂතාවය නිසාමයි කියලා මම දන්නවා. සත්තකින්ම කලාවට මගේ තිබුණ දක්ෂතාවය, කැපවීම නිසයි මේ තැනට මට එන්න පුළුවන් වුණේ.

සිනමාවේ ඔබ සොඳුරු රුවත්තියක් වගේම පෙරළිකාර චරිතයක්?

සිනමා දිවියේ මගේ යම් යම් රැඩිකල් වැඩ තිබුණා. ආ(ර්)ට් ඩිරෙක්ටර්ට ගෙව්වේ නැතිනම් මම ඔහු වෙනුවෙන් නිෂ්පාදකත් එක්ක කතාවට යනවා, ඇයි එයට එහෙම කළේ කියලා. කෑම හොඳ නැතිනම් අනෙක් අය මට කියනවා ගීතා ඔයා ගිහින් කියන්න කියලා. මෝඩකමට කරපු දේවල් නෙවේ. අනෙක් අය වෙනුවෙන් මම නායකත්වය අරගෙන කටයුතු කළ වෙලාවල් අනන්තවත් තියෙනවා. මට දැක්මක් තිබුණා. ඒ දැක්මේදී හැම වෙලේම මම හිතුවේ මෙන්න මේ දේ හරියි කියලා. හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම තමයි මගේ පළමුවැනි ව්‍යායාමය වුණේ. එහෙම ඉඳලා සම්පූර්ණයෙන් තෘප්තිමත් වෙන්න පුළුවන් සිනමා ගමනක් තමයි මම ආවේ.

ඔබ සාර්ථකත්වය හා ජනප්‍රියත්වය එක ලෙස රැක ගත් නිළියක් බව බොහෝ දෙනාගේ මතයයි?

දක්ෂකම නිසාම ජනප්‍රියත්වය ලබලා ඒ දක්ෂතාවන් නිසා ඇගයීමට ලක් වුණා. විචාරක - ප්‍රේක්ෂක ආදරය එක විදිහට දිනා ගත්තා. ඒ නිසා සිනමාවේ මට තවත් ලබා ගත යුතුª දෙයක් තියෙනවාද කියන ප්‍රශ්නය මගෙන්ම අහන්න ඕනෑ. ඊට පස්සේ මම තීරණය කළා හොඳම චිත්‍රපටවල විතරක් රඟපාන්න. ගිය වසරේ ඉඳන් මේ වෙන කොට මට චිත්‍රපට දහයකට ආරාධනා ලැබුණා. ඒ දහයම මම ප්‍රතික්ෂේප කළා.

ඇයි ඒ?

ඒ මගේ ලොකුකමකටවත්, ආඩම්බරයකටවත් නෙවේ. මානසික තෘප්තියක් ඒ තුළින් මට නොලැබෙන බව පෙනුන නිසා. සත්‍යාදේවි ගත්තත්, පාලම යට ඩොටී ගත්තත්, ලොකුªදුව, රන්දිය දහර, රාජ්‍ය සේවය පිණිසයි වැනි චිත්‍රපටවල චරිත ගත්තත් හැම වෙලේම මම කතා කළේ අසාධාරණයට ලක් වූ වනිතා චරිතයක් ගැන. මගේ රංගනය තුළින් මම කළේ ඒ අසාධාරණකම් ලොවට හෙළි කිරීම.

දේශපාලනය ගැන ඔබට මුලින්ම හැඟීමක් ඇති වුණේ කොහොමද?

ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ මල්ලී සීවලී රත්වත්තේ සහ ඒ මැතිණිය මට මගේ දෙමවුපියො වගේ. මං රඟපෑ දෙවැනි චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වුණේ රත්වත්තේ මැතිණිය. ඈ මට තමන්ගේම දියණියකට වගේ ආදරය කළා. පසුව උපාලි විජේවර්ධන මහතා සමඟ විවාහ වුණේ ඔවුන්ගේ දියණිය ලක්මිණි. ඇයත් මගේම වයසේ රූමත් තරුණියක්. මාවත් දරුවෙක් වගේ ඔය ගෙදර තියා ගත්තා. එතකොට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තමයි මේ රටේ අග්‍රාමාත්‍යවරිය. එතුමිය වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක, අනුර බණ්ඩාරනායක නිතර ඒ නිවසට එනවා. නොයෙක් දේශපාලන සාකච්ඡා පැවැත්වෙනවා. එවැනි දේශපාලන පසුබිමක් තමයි ඒ ගෙදර තිබුණේ. මගේ් තරුණ විය ගෙවුණේ එවැනි පරිසරයක.

ඔබේ පවුලේ දේශපාලන නැඹුරුවක් තිබුණේ නැද්ද?

මගේ පියා පුවත්පත් කලාවේදියෙක් සහ ගුරුවරයෙක් හැටියට කටයුතු කළ කෙනෙක්. ඔහුට වාමාංශික දේශපාලන නැඹුරුවක් තිබුණා. මගේ සීයා ඕදිරිස් රාලහාමි, බෙන්තර ඇල්පිටියේ බෙන්තර පහල ගම් හයේ ගම් සභාවේ ගම් සභාපති ධුරය ඉසිලූ කෙනෙක්. විදාන ආරච්චි, වෙද ආරච්චි අපේ පවුලේ කට්ටිය හිටියා ඒ වගේ. ගම් සභාපති ධූරයට තාත්තාගේ අයියා කෙනෙක් පත්වුණා. ඊට පස්සේ තාත්තගේ මල්ලී කෙනෙක් පත් වුණා ප්‍රාදේශීය සභා පළාත් සභාවලට මෑත කාලයේදී. ඒ වගේ කුමාරසිංහ පවුල බෙන්තර ඇල්පිටිය ප්‍රදේශයේ දේශපාලන ව්‍යුහයක් තිබුණ පවුලක්.

මා දන්නා තරමින් සහෝදර නළු විජය කුමාරතුංගයන්ගේ ඇසුරත් යම් තරමකින් හෝ බලපෑවා ඔබේ දේශපාලන සිතැඟියාවන්ට?

එක් කාලයක් චිත්‍රපට රැසක ප්‍රධාන චරිත රඟපෑවේ විජයයි – මමයි. අපි හැම වෙලේම එකට කාරෙකේ යන්නේ. සමීප ඇසුරක් මගේත් ඔහුගෙත් තිබුණා. හැම වෙලේම ඔහු හමු වෙන්න එන්නේ් දේශපාලනය වටා රොක් වෙච්ච අය. අනිවාර්යයෙන්ම ඒ කතාවලට සවන් දෙන්න, ඒවාට සහභාගී වෙන්න මටත් සිද්ධ වෙනවා. නිකං ඉන්න වෙලාවල ඔවුන් කතා කළේ දේශපාලනය ගැන. අපි මීටින්ස් බලන්න යනවා. මම හිතන්නේ මගේ භද්‍ර යෞවනයේ දී දේශපාලන හැඟීම් වඩාත් උද්දීපනය වෙන්න ඇත්තේ ඒ අවධියේ. නමුත් විජයගේ වියෝවත් එක්ක දේශපාලනය කියන්නේ මහ භයානක දෙයක් කියන එක ඔළුවට ආවා.

ඉන් පස්සේ දේශපාලනය ගැන කලකිරුණා?

කලකිරීමක් නෙවේ. ඇයි මේ අහිංසකයව මරල දැම්මේ කියන සංවේගය සිතට දැනුණා. ඒ කම්පාව අදටත් මගේ සිතට දැනෙනවා. ඊට පස්සේ චන්ද්‍රිකා නෝනා දේශපාලනයට ආවා. අපි ඇයටත් සහයෝගය දැක්වූවා. නමුත් කියන්න කනගාටුයි, අපි එතුමියගෙන් වඩාත්ම බලාපොරෙත්තුවෙන් සිටි සාමය මේ රටට උදා කර දෙන්න ඇයට බැරි වුණා. විශේෂයෙන්ම ඇයට ළෙන්ගතුකමක් අපේ හිතේ තිබුණා විජය කුමාරතුංගයන් හරහා. ඒ නිසා අපි ඇයට වැඩ කළා. නමුත් අපි බලාපොරොත්තු වුණ කිසි දෙයක් ඈ ඉෂ්ට කළේ නැහැ. අන්න එතනදී නම් දේශපාලනය ගැන කලකිරීමක් ඇති වුණා.

නමුත් අද වෙන කොට ඔබ බොහෝ උද්යෝගයෙන් දේශපාලනය කරන කෙනෙක්. මම හිතන්නේ වර්තමානයේ අප අත් විඳීන නව දේශපාලන සංස්කෘතිය නිසයි ඒ පිබිදීීම ඇතිව තිබෙන්නේ?

ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව බොහෝ කලක ඉඳන් අප දන්නවා. එතුමා හමුවී තිබෙනවා. එතුමාත් සමඟ කතාබහ කර තිබෙනවා. තරුණ දේශපාලනඥයෙක් හැටියට 1970 දී එතුමා බෙලිඅත්ත ආසනයෙන් පාර්ලිමේන්තුවට එද්දී එතුමා වටා ජනතා බලවේගයන් පෙළ ගැසී තිබුණා.

එතුමා කම්කරු ඇමතිවරයාව සිටින කාලේ කම්කරු ජනතාවගේ් සුබ සිද්ධිය තකා විශාල වැඩ කොටසක් කළා. අපේ ඇඟලුම් කම්හලක සේවිකාවන්ගේ ප්‍රශ්නයක් වෙනුවෙන් එතුමා මැදිහත් වුණා. මෙවර මැතිවරණයේදී මම ඒ සේවක පිරිසට ඒ ගැන මතක් කළා.

එතුමා තමයි ඔයාලා ගේ ඉල්ලීම් දිනා දෙන්න මැදිහත් වුණේ කියලා. ඒ වගේ මානුෂික ගුණාංග ඔහු ළඟ තිබුණා. ඒක ලෙහෙසියෙන් අපේ දේශපාලන නායකයන් තුළ ඇති වන ගුණයක් නෙවේ. එතුමා මිනිසුන්ට ඇහුම්කන් දෙන, කලාකරුවන්ට සලකන කෙනෙක්. ඒ නිසා මම තීරණය කළා 2005 ජනාධිපතිවරණයේදී එතුමාට සම්පූර්ණ සහයෝගය දෙන්න.

වසර ගණනක් පැවැති යුද්ධය එතුමාට මෙතරම් ඉක්මණින් නිමා කළ හැකි වේ යැයි කියන විශ්වාසය එදා ඔබට තිබුණාද?

නැහැ. ඇත්තටම ඒ ගැන නම් එතරම් විශ්වාසයක් මගේ් සිතේ තිබුණේ නැහැ. ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංගට බැරි වුණ දේ මෙතුමාට කළ හැකි යයි කියා බොහෝ අය විශ්වාස කළේ නැහැ. ඒත් අපට මෙතුමා හැර වෙනත් බලාපොරොත්තු තැබිය හැකි නායකයෙක් හිටියෙත් නැහැ. 2005 ඉඳන් මේ යුදමය ප්‍රශ්නය ටිකින් ටික ඇවිලීගෙන, ඇවිලීගෙන ආවා.

එක පිට එක ජයග්‍රහණ ලබමින් අපේ රණවිරුවන් ඉදිරියට යද්දී, පිටරට ගුවන් විදුලියකට සවන් දෙද්දී මට ඇහුණා ඉන්දියාවේ නළු, නිළියෝ අපේ හමුදාවට විරුද්ධව පාරට බැස්සය කියලා. මම ඒ වෙලාවේ කල්පනා කළා දැන් අපි මේ නළු නිළියෝ ගෙවල්වලට වෙලා ඉන්න හොඳ වෙලාවක් නෙවෙයි කියලා.

ඒ අවබෝධය සෙසු කලාකරුවන්ටත් ලබා දෙන්න ඔබ උත්සාහ කළා?

ඔව්, ‘දිවයින’ පුවත්පතෙන් මට සම්මුඛ සාකච්ඡාවකට කතා කළ ;වලාවේ මම ඒ මාධ්‍යවේදියාට කිව්වා ‘සහෝදරයා අපි ඒ වැඩේ පස්සට දාමු. පුළුවන් නම් මේ වෙලාවේ මට මගේ සහෝදර කලාකරුවන්ව දැනුවත් කරන්න අවස්ථාවක් ලබා දෙන්න’ කියලා. අපේ සෙබළුන් කොටි ත්‍රස්තවාදය පරාජය කරමින් ඉදිරියට යන කොට ඒ මානුෂීය මෙහෙයුම හෙළා දකිමින් රැජිනි කාන්ත්, කමලා හසන් වගේ දැවැන්ත නළුවන් උද්ඝෝෂණය කළා. ඒ වෙලාවේ මම අපේ කලාකරුවන්ගෙන් ඇහුවේ අපේ රණවිරුවන්ට එරෙහිව ඒ වගේ් ක්‍රියාදාමයක් සිදු වෙන වෙලාවේ අපි ගෙවල්වලට වෙලා කකා බිබී ඉන්න එක හරිද කියන කාරණාවයි. අපි වහාම එකතු වෙමු. අපි මේ සම්බන්ධයෙන් ලොකු වැඩ පිළිවෙලක් දියත් කරමු කියලා පළමුවැනි ගල මම තමයි ගැහුවේ.

කලාකරුවන් සිය දහස් ගණනින් එකතු වී නිදහස් චතුරශ්‍රයේ පැවැත් වූ ‘අධිෂ්ඨාන පූජාව’ පවා ආරම්භ වුණේ එතනින්?

මුලින් මේ වැඩේට හිටියේ බොහොම ටික දෙනයි. ඩග්ලස් සිරිවර්ධන, සිරිල් වික්‍රමගේ මහත්වරු හිටියා. පස්සේ මේක දෙකට කැඩෙන්න ගියා. එතකොට තමයි මම කිව්වේ නැහැ අපි හැමෝම මේ ගමන එකට යමු කියලා. රවීන්ද්‍ර රන්දෙණිය මහත්තයාත් අපට එකතු වුණා. ඊට පස්සේ චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමාටත් අපි ආරාධනා කළා. මමම තමයි අයි. ටී. එන් එකට ගිහින් නළු නිළියන්ට ආරාධනා කළේ චිත්‍රපට කරන එක නතර කරලා හරි හෙට එතෙන්ට එන්න කියලා. මොකද චිත්‍රපට කරන්නත් අපට රටක් තියෙන්න ඕනෑ.

මාලිනී අක්කා, රවී අයියා මේ වැඩේට ඉතාමත් කැප වුණා. සියලුම කලාකරුවන් අපිත් එක්ක අත්වැල් බැඳ ගත්තා. මම නිවසේ පහනක් පත්තු කළා.

මම මේක නිවන්නේ අපේ හමුදාව මේ යුද්ධය ජයග්‍රහණය කළාට පස්සේ කියලා. මේ ජයග්‍රහණය සඳහා අපේ රණවිරුවන් මෙහෙය වූවේ වෙන කවුරුත් නෙවේ, සේනාධිනායකයා වූ අපේ ජනාධිපතිතුමා. එදා තමයි මට හිතුණේ මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ දේශපාලනයට සහාය දෙන්න මා ගත් තීරණය හරියි කියන එක.

ඔබ මේ විදිහට ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුණෙත් එතුමාගේ ආරාධනාවෙන්?

එතුමාගේ් ආරාධනාවෙන්. පක්ෂයේ ආරාධනාවෙන්. මම රට වටේම මැතිවරණ වේදිකාවලට ගියා එතුමා වෙනුවෙන්. මම හිතන්නේ් එතුමන්ටත් වඩා ජනතාවයි මාව ඉල්ලුවේ. ඒ ගිය හැම තැනකදීම මාව වට කරගෙන ඔයා දේශපාලනයට එන්න කියලා මේ රටේ පොදු ජනතාව එක හෙළාම මගෙන් ඉල්ලා සිටියා.

ඔබේ උපන්ගම් පළාත නියෝජනය කරමින් මෙසේ දේශපාලන කරළියට එක් වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

අපේ ගමේ බෙන්තර – ඇල්පිටියට අවුරුදු දොළහකින් මන්ත්‍රී ;කනෙක් ඉඳලා නැහැ. පක්ෂය දිනනවා. රජය තියෙනවා. නමුත් මන්ත්‍රී කෙනෙක් නෑ. මම උපන් හබුරුගල කියන ගමට අවුරුදු දොළහක් මන්ත්‍රී කෙනෙක් ඉඳලා නැහැ. මම ජනාධිපතිතුමාගේ මැතිවරණ වේදිකාවේ කතා කරනවා දැකලා මිනිස්සු කිව්වා ඔබතුමිය තමයි අපේ කෙනා. බෙන්තරින් පාර්ලිමේන්තුවට යන්න ඕනෑ කෙනා ඔබතුමිය. ඇල්පිටිියේ මිනිස්සු කියන්න පටන් ගත්තා. ඔබතුමිය අපේ සම්පත. එන්න අපිත් එක්ක මේ මැතිවරණයට තරග කරන්න කියලා ඔවුන් තමයි මාව දිරිමත් කළේ.

ගාලු දිස්ත්‍රික්කයේ කාන්තා නියෝජනයක් තිබී නැහැ. මම හිතන්නේ ඉතිහාසය පුරාවට?

ඉතිහාසයේ කවදාවත් ගාලු දිස්ත්‍රික්කයෙන් තරග කරලා කාන්තාවක් පාර්ලිමේන්තුවට ගිහින් නැහැ. මහත්තයා නැති වුණාට පස්සේ එක් කාන්තාවක් මාසයක විතර කාලයක් මන්ත්‍රී ධූරයක් දරලා තිබෙනවා. ඒත් ඒ මැතිවරණයකට ඉදිරිපත් වෙලා නෙවෙයි. ජනාධිපතිතුමන්ට වැඩිපුරම ඡන්දය දීලා තියෙන්නේ කාන්තාවෝ. අපේ රටේ දකුණෙන් හඬක් නගන්න පුළුවන් එකම කාන්තාව මම කියලා මම විශ්වාස කරනවා. මම මේ රටේ දහසය දාහකට රැකියා ලබා දෙන්න මුල් වෙච්ච, ඒ අය වෙනුවෙන් කටයුතු කරපු කෙනෙක්. නමුත් ඒ එකක්වත් දේශපාලනයට එන්න බලාපොරොත්තුවෙන් කළ කී දෑ නෙවෙයි.

බොහෝ දෙනෙකු නොදන්නවා වුණත් ඔබ බෞද්ධාගමට ලැදිව කටයුතු කළ කෙනෙක්?

ඇත්තෙන්ම හුඟ දෙනෙක් නොදන්නවා වුණාට මම හොඳ බෞද්ධ පසුබිමක් තියෙන කෙනෙක්. මගේ තාත්තාගේ අක්කා අරුණා වික්‍රමපාල මහත්මිය කලක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිනිය ලෙස කටයුතු කළා. ඒවාට දායක වෙන්න මටත් අවස්ථාව ලැබුණා. අඟුරුගල විහාරයේ චෛත්‍ය මම තනියෙන් හැදුවේ. එතකොට වෙහෙර, විහාර හදන්න මම තව ගොඩක් උදවු, උපකාර කර තිබෙනවා. මගේ සීයාගේ මල්ලී තමයි දකුණු පළාතේ අධිකරණ සංඝ නායක හබුරුගල විපස්සී කියන හාමුදුරුවෝ. ඉතින් අපි පාරම්පරිකව බෞද්ධාගමත් එක්ක බොහෝ සමීපව කටයුතු කළ අය. හාමුදුරුවරු පවා මට ආරාධනා කළා දේශපාලනයට එන්න කියලා. අවසානයේදී මම සත්තකින්ම ගාලු දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සේවය කරනවා කියලා හිත හදාගෙන තමයි දේශපාලනයට ආවේ.

මේ කරුණු නොදන්නා නිසාදෝ ඔබේ දේශපාලන ප්‍රතිවාදීන් අහනවා ගීත කුමාරසිංහට දේශපාලනය කරන්න තිබෙන සුදුසුකම් මොනවද කියලා?

ඒ සුදුසුකම් මොනවද කියලා මම දැන් කියලා ඉවරයි. තවත් සුදුසුකමක් එහෙනම් මම කියන්නම්. මම ජීවිත කාලය පුරා සාමාන්‍ය මිනිසුන් හා ඇසුරු කළ කෙනෙක්. මෙහේ විතරක් නෙවෙයි මට ඕනෑ නම් අනුරාධපුරේ ගිහිල්ලත් ඡන්දෙ ඉල්ලන්න පුළුවන්. රත්නපුරයට ගියත් පුළුවන්. මුළු ලංකාවේම මට ආදරය කරන මිනිස්සු ඉන්නවා. මොකද මම ජනතාවත් එක්ක ජීවත් වෙච්ච ගැහැනියක්. මම ගමෙන් ආව කෙනෙක්. අනෙක මම දේශපාලනයට ආවේ හම්බ කර ගන්න නෙවෙයි. මම ආවේ හම්බ කරගෙන, කීර්තියක් ලබා ගන්න නෙවෙයි.

කීර්තියක් ලබාගෙන. මට මුදල් අවශ්‍ය නැහැ. ඒ වගේම මට හදන්න විශාල පවුලකුත් නැහැ. ඒ කියන්නේ මගෙන් රක්ෂාවක් ගන්න හරි, මගේ් ඇඟේ එල්ලිලා එන්න හරි කවුරුවත් නැහැ. එහෙම නම් මම තමයි සුදුසුම කෙනා ගාලු දිස්ත්‍රික්කයෙන් පළමුවැනි වතාවට කාන්තා හඬක් නගන්නට.

කලාව කියන්නේ බොහොම සුන්දර තැනක් කියනවනේ. නමුත් දේශපාලනය එහෙම තැනක් නෙවේ?

කලාව සුන්දර වුණාට එහි නියැළි බොහෝ දෙනා තුළ ඒ සුන්දරත්වය නැහැ. කැපිලි, කෙටිලි, අප්‍රසන්න සිදුවීම් දහස් ගණනින් හෙම්බත් වුණ කෙනෙක් මම. ඒක නිසා දේශපාලනය මට බොහොම පුංචි දෙයක්. අපහාස, කතන්දර හැදීම් මේවා දේශපාලනයේත් තියෙනවානේ. මඩ ගැහිලිවලට සෙළවෙන කෙනෙක් නෙවෙයි මම. ඒවාට අපි හොඳට පදම් වෙලා. ඒ පන්නරය ඇත්තටම මට ලැබුණේ සිනමාවේ අත්දැකීම්වලින්.

Loading...