August 28, 2016

Tagged Under: ,

Sidu teledrama child actor 2016

By: Blog Poster On: 12:10 AM

සරණ සමඟ‍ පොඩි හාමුදුරුවන් හමුවෙමු
සිඳු දර්ශන තලයේ දී


උදෑසන ඉක්මනින් නික්ම යමින් තිබිණි.. අප එදින හොරණ ප්‍රාද්ශය බලාපිටත් වූයේ මේ දිනවල නොසිතු ජනප්‍රියත්වක් හිමි කර ගනිමින් විකාශය වන 'සිඳු' ටෙලි නාට්‍යයේ දර්ශන තලය වෙතය. වාහනයට ගොඩ වී මඳ වේලාවකට පසු අපගේ ඡායාරූප ශිල්පි ශාන්ට ලැබුණු දුරකතන ඇමතුමෙන් කියැවුණේ රූ ගත කිරීම් අරඹා ඇති බවයි..එය කන වැකෙත්ම හැකි ඉක්මනින් යා යුතු යැයි මගේ සිත පෙරැත්ත කළද අප රියැදුරු මහතාට ඒ බව නොකීවේ ගමන පරෙස්සමෙන් යා යුතු බැවිනි. පැය දෙකකට ආසන්න කාලයකින් පසු අපේ ගමනාන්තයට ළඟා වීමූ...
අප ඉදිරියට වඩින්නේ ස්වාමින් වහන්සේ නමකි...
“අවසරයි අපේ හාමුදුරුවනේ.. මේ පන්සලේද අර පොඩි හාමුදුරවන්ගේ නාට්‍යයේ ෂුටිං තියෙන්නේ?“
ඒ හඩ ශාන් ගේය..

“ඕව්.. ඔහොම පිටිපස්සෙන් උඩහට යන්න. ෂුටින් කරන්නේ උඩහ..“
උන්වහන්සේගේ මඟ පෙන්වීමට ස්තුති පූර්වක වෙමින් අප කළු ගල් තලාව මතින් උඩහට පිය නැගුවෙමු..
“මේ සිළුමිණ පත්තරෙන් නේද?
ඒන්න එන්න..තේ ටිකක් බීලම වැඩ පටන් ගමු“
අප දර්ශන තලයට යන විට තේ පැන් පානය සඳහා රූ ගත කිරීම් මඳකට නවතා තිබූ අතර සිය සුපුරුදු ළෙන්ගතු සිනහවෙන් අපි පිළිගත්තේ සිඳු ටෙලි නාට්‍යයේ සහය අධ්‍යක්ෂකවරයා වන ප්‍ර‍දීප් මානවඩුගේ විසිනි.
තේ උගුරක රස බලන ගමන් මා ගල් තලාව මත පිය මනිමින් තවත් ඔබ මොබ ඇවිද්දේ අවට පරිසරයේ සුන්දරත්වය තව තවත් විඳ ගැනීමේ රිසියෙනි...
අහ් ..මේ ඉන්නේ සරණ..
අපට මුලින්ම හමු වූයේ මෙ දිනවල මෙරට ජනප්‍රියතම පූස් පැටවායි. සරණටත් තේ පැන් විරාමයක් ලැබී ඇති හැඩයි.. බැම්මක් මත වාඩි වී සිටි සරණ විඩා නිවයි.
“සරණත් ගිය ආත්මෙක හොඳ නළුවෙක්ද කොහේදො....“ අවට සිටි කෙනෙක් එසේ කියාගෙන යයි..
“එතකොට කෝ මේ සෝරත පොඩි හාමුදුරුවෝ?“
එතැන සිටි තවත් අයකුගෙන් මා එසේ විමසූයේ මේ දිනවල බාල මහලු කාගෙත් සිත් සොරා ගත් ඒ පුංචි කොලු ගැටයා දැක ගැනීමට මා තුළද උපන් ආශාව නිසාය..
“අද ඒ පුතාට ටිකක් සනීප මදි.. පල්ලෙහාට ගියා. ආ.. ඔය කියනකොටම එන්නේ... බලන්නකෝ මූණ නිකම් අද ගොරකා ගෙඩියක් වගේ වෙලා නේද?“
කසාවතින් සැරසී මවට තුරුලු වි එන ඔහු සැබැවින්ම හුරුබුහුටිය...
“හරි පුතාව එක්කර ගෙන එන්න.. අපි ෂූටිං පටන් ගමු..“ඒ හඬ තිළිණගෙයි. කොතරම් අසනීප වූණත් කැමරාව ඉදිරියේ එ සියල්ල මේ පුංචි පුතාට අමතකය..
රෝලිං.. ඇක්ෂන්!
“කොහේද ඔය බළල් නාම්බව අරන් යන්නේ..
නාවන්න..
කොච්චර නෑවුවත් මේකව සුදු කොරන්ඩ බැහැ පොඩි හාමුදුරුවනේ...ඌ මඩ නානවාමයි..
කොච්චර මඩ නෑවත් සරණ මගේ.. සරණ මඩේ ළගිනවා.. මම නාවනවා.. සරණ ආයෙත් මඩේ ළගිනවා මම නාවනවා..“
“එයාට දෙබස් කියන්න ඕනේ එක පාරයි හැබැයි ඒ දෙබස වරද්දන්නේ නැතුව හරියටම එයාට දෙන්න ඕනේ. බැරි වෙලාවත් දෙබස වැරදුණොත් දෙවැනි පාර හරි ගැස්සුවට වැඩක් නැහැ. මොකද පළවෙනි පාර අපි කියන දෙබස එයා ඔළුවට දා ගන්නවා.. පස්සේ සිය පාරක් අපි වෙනස් කළත් එයා කියන්නේ මුලින් කියපු දෙබස විතරයි..“
සිඳු හී නිෂ්පාදක, ජානක අප හා එසේ පැවසුවේ ආයාසයකින් තොරව දෙබස් තෙපලන ඒ හුරතලා දෙස මා මඳක් පුදුමයෙන් බලා සිටිනූ දුටු නිසා වන්නට ඇත.. දර්ශනතලයේ සියල්ලන්ම ඉතා කාර්යබහුල වූවත් ඒ සියල්ල සිදු වන්නේ ඉතා විනෝදයෙනි..
සෝරත හමුදුරුවන්ගේ හුරතල් වැඩ දිහා බලන් ඉන්න අපට ඊට එහා කුඩා බංකුවක අසුන් ගෙන මේ සියල්ල දෙස ඉතා නිසොල්මනේ බලා සිටින අපේ ලොකු හාමුදුරුවො හෙවත් අපේ ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව්. ජයසිරි දෙසට මා පියමං කළේ ඔහු සමග පුංචි කතා බහක යෙදෙන්න සිතා ගෙනයි.
''සෝරත පොඩි නම ගැන කතා කරනවාට වඩා මම ඊට පණ පොවන දරුවා ගැන යමක් ඔබට කියන්නම්. මේ දරුවා වයස අවුරුදු පහක පුංචි කිරිසප්පයෙක් වුණත් අද ලංකාවේ ආකාස්මික (Sensational) ළමයෙක් වෙලා හමාරයි.. එහෙම වෙලා තියෙන්නේ ඔහු වයසින් කුඩා වුණත් ඔහුට තියෙනවා දෙබස් කැවීම් තුළින් ලබා ගත් ලොකු හුරුවක්. ඒ නිසා උච්චාරණය සහ දෙබස් මතක තබා ගැනීමේ අභ්‍යාසය ඔහුට හොඳින් හුරුයි. ඒ නිසා තමයි මේ නාට්‍ය ඉතා ඉක්මනින් සියලු දෙනා වැළඳ ගෙන තියෙන්නේ.ඔහු තමයි මේ ටෙලි නාට්‍යයේ ධනාත්මක ලකුණ. ''කිව යුතු සියල්ල බොහොම කෙටියෙන් ඉතා සුහදශීලීව බෙදා ගැනීම ඔහුගේ පුරුද්දක්.
''පුතේ!! ඔයා හොඳට රඟ පෑවොත් පොතේ තරු ගහනවා.. කෝ ඒත් මේ අම්මා ගෙනත් නැහැනේ පුතගේ පොත අද තිළිණ නැවත ඒ පුංචි පුතු හුරතල් කරයි.
පුංචි පුතාට තරු ගැන මතකයක් නැත. ලද විවේකයේ ඔහු උපරිම ප්‍රයෝජන ගනී.. අසනීපය පැත්තක දමා ඔහූ හීන් බබා සීයා ගේ ඇඟට පනී.. සීයා සමග හරි හරියට දුවයි.. නාට්‍යයේදී මේ දෙදෙනා නිතරම දෙදෙනාට මැසිවිලි නැඟුවත් දර්ශන තලයෙන් පසු පසු සෝරත පොඩි නමගේ කළණ මිතුරා හින් බබා සීයා ය.
''හීන් බබා සීයා එක්ක පුතා හරිම එකතුයි නේද?''
''අම්මේ ඔව්... ඔහු හරි ආසයි මම කියන කතන්දරවලට. මේ නාට්‍ය තුළ මට ලියැවිලා තියෙන දෙබස් කිය කියා මං එයත් එක්ක සෙල්ලම් කරනවා නම් ඊට වඩා දෙයක් නැහැ.''
''ඔබ මේ නාට්‍ය ත්‍රිත්වයේම එන චරිතයක්නේ....ඉතින් සිඳු ගැන මොනවද ඔබට කියන්න තියෙන්නේ?''
''මම මුලින් සිඳු නිෂ්පාදක ජානක සිරිවර්ධන සහ තිලිණ බොරලැස්ස අධ්‍යක්ෂවරයාට ඉතාම ස්තුතිවන්න විය යුතුයි. ඔවුන් ඉතාම සුහදශීලී පුද්ගලයන්. මම මීට සම්බන්ධ වෙන්නේ මගේ මිතුරා මනෝජ් ගේ මාර්ගයෙන් මලී ‍කොටස් 50 හෙදි ආ මගේ චරිතය ඉන් අත්තම්මා, දැන් සිඳු ඔස්සේ ප්‍රේක්ෂකයාට ළං වුණා. නමුත් සිඳු මලී සහ අත්තම්මා අභිබවා ගිහින් කියලයි හිතෙන්නේ..සමහර විට පොඩි ළමයි වටා ගොඩ නැඟුණු නිසා වෙන්නත් ඇති. මේ නාට්‍ය තුළ තියෙන කතාවත් හරි ලස්සන කතන්දරයක්.''
රූගත කිරිම් අතර ලද විරාමයකදි සිඳු අධ්‍යක්ෂ තිළිණ බොරලැස්ස ගෙන් විමසන්නට මට කාරණා කිහිපයක්ම විය..
'මලි' සහ 'අත්තම්මා' ලැබූ ජනප්‍රියත්වය නිසාදෝ 'සිඳු' ටෙලි නාට්‍යයද මලී දිගුවක් ලෙස දිග හැරෙන්නේ... ?
''මලී දිගුවක් ලෙසයි සිඳු නිර්මාණය වෙන්නේ. මලී සහ අත්තම්මා ලැබු ජනප්‍රියත්වය නිසාම සිඳු ඊට ඈඳ ගත්තා යැයි කවුරු හරි හිතනවා නම් එහෙම හිතෙන එකේ ගැටලුවකුත් නැහැ. 'මලී' සහ 'අත්තම්මා' එකට ගලා ගෙන ගිය නාට්‍ය දෙකක්. නමුත් සිඳු නිර්මාණය වෙන්නේ මලී, අත්තම්මා යන දෙකෙහිම සිටි යම් යම් චරිත කිහිපයක් සමඟ කෙරෙන වෙනම කතාන්තරයක් ලෙසයි.''.
ආරම්භයේදීම සිඳු මෙතරම් පෙරළියක් කරාවී කියලා නොසිතෙන්න ඇති..?
''ඔව්. තවම විකාශනය වෙලා තියෙන්නේ කොටස් සුළු ප්‍රමාණයක් නමුත් සිඳු මෙතරම් හදවත් තුළට කිඳා බහින්න හේතු කිහිපයක්ම බලපෑවා.. සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතය, පිටපත මෙන්ම මේ දෙබස්.. තුළින් අපට අවශ්‍ය වුණේ සමාජයට හොඳ පණිවුඩයක් දෙන්නයි. අපේ කම, අපේ ගම, බොදු සංස්කෘතිය ඉතා උතුම් ලෙස සිඳු ඔස්සේ ඉස්මතු කෙරෙනවා..ප්‍රේක්ෂකයා මේ සියල්ල නියම ලෙස පිළි ගෙන තිබෙන වග මේ සුළු කාලය තුළදී ලැබී තිබෙන ජනප්‍රසාදයෙන් මනාවට පැහැදිලි වි හමාරයි.''.
ලාංකේය ටෙලි නාට්‍ය ක්ෂේත්‍ර‍ය අඩපණ කර ඉන්දියානූ කොරියානූ නාට්‍ය මෙරට තම ආධිපත්‍ය පතුරුවමින් පවතින සමයක ඒ අභියෝගයට මුහුණ දෙමින් මෙතෙක් ලංකාවේ නිර්මාණය වූ මෙගා ටෙලි නාටය කලාවට එහා ගොස් වෙනම රූගත කිරීමේ තාක්ෂණික කලාවක් සහ වෙනම සංස්කරණය කිරීමේ කලාවක නව සම්මිශ්‍ර‍ණයකින් හා ඉහත කියූ සියලූම උපක්‍රම යොදා අඩපණව තිබූ අපේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ හරිම නිලයට ගැහුවා වගේ වැඩක් තමයි අපි කළේ..
ඒ ප්‍රමිතිය මේ නිර්මාණය පුරාවටම රඳවා ගන්නට හැකි වේවිද..?
''සිඳු අධ්‍යක්ෂවරයා ලෙස එය මා බොහොම වගකීමෙන් යුතුව අවධාරණය කළ යුතුමයි. නාට්‍ය ආරම්භයේදී තිබෙන මේ ප්‍රමිතිය උසස් බව දිනෙන් දින වැඩි වනවා මිස මෙම නාට්‍ය මගදි ඊට කිසිදු අඩුවක් නොවන බවට.''
මද වේලාවකින් කෙනෙක් ගොස් නැවත දරුවා ඔසවා ගෙන දර්ශන තලයට පිය මනී, තවකෙක් සරණ යන එන තැන් ගැන විමසිල්ලෙන් පසු වෙයි..
''කෝ මේ සරණ?''
සියල්ල හසුරුවන්න මේ කොල්ලො ටික කන කට්ටත් එතරම් ලෙහෙසි පහසු නැ වගේ.. මට ඉබේම එසේ කියැවිණි..
“ පුතේ ඔන්න දැන් ඔයා පූසව වඩාගෙන යනකොට දකිනවා ලොකු හාමුදුරුවො වඩිනවා. ඔයා පූසා දිහා බලනවා.. ලොකු හාමුදුරුවො දිහා බලනවා.. අයිත් පූසා දිහා බලලා බිම බල ගන්නවා.. මගේ පුතාට තේරෙනවා නේද?“
ඉතා සංයමයෙන් යුතුව අධ්‍යක්ෂවරයා මේ පුංචි කොලු පැටියා හසුරුවන විලාසය අපූරුය. මේ අතර මෙහි නිෂ්පාදක ජානක සිරිවර්ධන මහතා මොනවදෝ ලියමින් සිටිනු මගේ නෙත ගැටිනි...
“අලුතෙන් පිටපතට දෙබස් එකතු කරනවාද....?“
“ඒ ගැන නම් කියන්නම ඕනේ..“

“මේ දරුවා පසු ගිය කාලේ අසනීප වුණ නිසා දවස් හය හතක්ම රූගත කිරීම් කරන්න බැරි වුණා. නමුත් එහෙමයි කියලා කතාව විකාශය වීම නැවතෙන්නේ නැහැ නේ. ඔහුට කරන්න තිබුණ සමහර දර්ශන පහුවෙලා ඒ වෙනුවට දැන් යන්නේ ඒවා පැන පැන. ඒ දර්ශන දැන් මේ අපි කලින් ලියූ දර්ශන වලට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපට සිද්ධ වෙනවා අලුතෙන් දර්ශන කිහිපයක් එකතු කර මඟ හැරිච්ච දර්ශන පිරිමහගන්න. ඒක තමයි අපි මේ කරන්නේ.“
මලී, අත්තම්මා සහ සිඳු යන ටෙලි නාට්‍ය ත්‍රිත්වයේ පිටුපස සිටින දැවැන්ත සෙවනැල්ල ඔහු ය. සිඳු නිර්මාණය වන්නේ ඔහුගේ සංකල්පයකට අනුව ඉතින් සිඳු ගැන අසන්නට වඩාත් සුදුසුම පුද්ගලා ඔහුයි.
සිඳු සංකල්පය මගේ ඔළුවට එන්න ප්‍රධාන හේතුවක් තිබුණා. පසුගිය කාලය අපේ රට නැවත ආක්‍රමණයට ලක් වුණානේ... ඒ ඉන්දියානු සහ ‍කොරියානු ටෙලි නාට්‍ය ආක්‍රමණයයි. මේ ටෙලි නාට්‍ය අභිබවා යන අපට බැහැයි මතයකුත් ගොඩ නගාගෙන අපේ ටෙලි නාට්‍ය කලාව අවසන් යැයි බොහො අය අහස දිහා බලන් හීල්ලුවා මිසක් ඊට විසඳුමක් හොයන්න උත්සහා කළේ මේ මතයට මම බොහොම විරුද්ධයි.
අපිට තියෙන්නෙ සීමිත සම්පත් ප්‍රමාණයක් වුණත් මගේ විශ්වාස වුණේ. අපිට ඒ නිර්මාණ අභිබවා යන්න පුළුවන් කියලයි.. හැබැයි එහෙම අභිබවා යන්න නම් අපි අපේ දේ එළියට ගත යුතුයි. ලංකාවේ කොහේ හිටියත් අපේ ගම සහ අපේ උරුමය උත්තේජනය වන හැම තැනකදීම අපි එයට ලොල් වන බව මගේ විශ්වාසයයි. පසු ගිය කාලේ බිහි වූ නාට්‍ය කලාව තුළ අපේ කම නැති වීමයි සිංහල ප්‍රේක්ෂකයා මේ නිර්මාණවලින් ඈත්වීමට හේතුව. ඉතින් ප්‍රේක්ෂකාගාරය නැවත ගන්න අපි අපේ දේ ගෙන ආ යුතුයි. අන්න එතනදි තමයි පොඩි හාමුදුරුවෝ කියන සංකල්පය බිහි වෙන්නේ.
‘පොඩි හාමුදුරුවෝ’ කියන්නේ අපේ දේ.. ඒ අපේ කම, සිංහල කම සහ අපේ හැදියාව, එය අපේ අතීතයට, වර්තමානයට සහ අනාගතයට පොදුයි. ඒ තුළ තමයි මේ පොඩි හාමුදුරුවන්ගේ චරිතේ ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට මේ දවස් ගණනට ලංකාවම පොඩි හාමුදුරුවන්ව වැලඳගත්තා. ඒ කියන්නේ අපේ කමට ප්‍රේක්ෂකයා නැවත නැඹුරු වී තිබෙනවා. ඉතින් අපේ නාට්‍ය පවතින්නේ අපේ කම පවතිනතාක් පමණයි. ඉතින් අපේ කම තිබෙන්නේ පොඩි හාමුදුරුවෝ සහ ලොකු හාමුදුරුවෝ කියන චරිත තුළ ඒ නිසා මේ අපේ කම පවතින්න නම් අපට අපේ කම තියා ගන්න වෙනවා. ඒ ගැන මට ඉතා සතුටුයි.''
ඔබ බාර ගත්තේ එක්තරා අභියෝගයක්...?
''පැහැදිලිවම...මම කැමැති බොහෝ අය අකැමැතියි කියලා අහක දාන අභියෝග භාර ගන්න. සමහරවිට එය මගේ උපතේ සිට ආ පුරුද්දක් වෙන්න ඇති. ඉන්දියානු රැල්ල බොහොම දරුණු ලෙස පැතිර තිබෙන කාලයක තමයි අපි 'මලී' නාට්‍ය පටන් ගත්තේ. අන්තිමට මලී කොතරම් ජනප්‍රිය වුණාද කීවොත් ලංකාවේ බොහොමයක් තරුණියන් මලීගේ ගවුම් විලාසිතාව පවා අතිශය ජනප්‍රිය වුණා.
මුදල් රැල්ල මදකට පසෙක තබා වැඩේ ඉවර කරලා මුදල් සොයන පරමාර්ථය ඇති තව නිෂ්පාදකවරු තව දෙදෙනෙක් මුණ ගැසුණොත් තවත් අභියෝගයක් භාර ගන්න සූදානම්..අපිට මේ නට්‍ය රැල්ල, මේ ඉන්දියානූ කොරියානූ නාට්‍ය රැල්ල මුලුමනින්ම වෙනස් කරන්න පුළුවන්.''


හෝරා කිහිපයක්ම මෙලෙස දර්ශන තලයේ ගත කරමින් සිට අපි දහවල් වන විට නැවත පල්ලම් බැස්සේ දිවා ආහාරය සඳහාය.. මේ තමයි පුංචි සෝරත හාමුදුරුවෝ කතාවට අල්ල ගන්න හොඳම වේලාව..
 පොඩි හාමුදුරුවනේ..අපිට ටිකක් කතා කරන්න අවසරද?
''දැන් මම පොඩි හාමුදුරුවෝ නෙමෙයි... කවීෂ් විහඟ නේ.''.
හොඳමයි මම එහෙනම් කවිෂ් පුතා කියන්නම්කෝ?
''එහෙම හොඳයි.''.
පොඩි හාමුදුරුවෝ කියනවාට පුතා කැමැති නැද්ද?
''කමක් නැහැ.. හැබැයි පොඩි හාමුදුරුවෝ ඉන්නේ නාට්‍යයෙ නෙ..''.
ආදරේට ඉතින් එක එක නම් කියනවාන්?
''මට නම් ආදරේට කතා කරන්නේ චූටි පුතා කියලා.''
අපිට චූටි පුතාගේ වයසත් කියමුකෝ?
''තවම අවුරුදු හයයි.''
කවිෂ් පුතා කොහොමද සෝරත පොඩි හාමුදුරුවෝ වුණේ?
''දෙරණේ ලක්සිරි මාමා තමයි මාව තෝර‍ ගෙන තියෙන්නේ.. මම දෙරණේ කාටූන් වැඩසටහන් වලට දෙබස් කවලා තියෙනවානේ. තව දෙරණ FM එකේ ආයුබෝවන් දෙරණ කියන වැඩසටහනෙත් පුංචි චරිතෙකට ඉන්නවා. ඒ නිසා වෙන්න ඇති ලක්සිරි මාමා මාව තෝර ගන්න ඇත්තේ..''
පුතා නාට්‍යකට රඟපාන්න තෝරගත්තාම ගොඩක් සතුටු වෙන්න ඇති නේද?
''අම්මෝ.. මට නම් ගොඩක් බය හිතුණා..''.
ඒ මොකද?
''අමාරුයිද දන්නේ නැහැනේ.. ඒ නිසයි බය වුණේ.''
දැන් නම් පුතා බය නැහැනේ නේද?
''අපෝ නැහැ. දැන් නම් බය නැහැ.. තිලිණ මාමා, ජානක මාමා, ප්‍ර‍දීප් මාමා වගේම තව මෙතන ඉන්න මාමාලා හැමෝම ගොඩක් ආදරෙන් උදව් කරනවා.. සෙල්ලම් කරනවා ඒ නිසා දැන් බය නැහැ.''
ඒ වුණාට එක පාරක් රඟපාද්දි පුතා හොඳටම බය වුණාලු නේද?
''ඔව්. ඔව්. අපි වැවක නනා ඉන්න දර්ශනයක් තිබුණා. එකපාරටම මම දැක්කා මොකෙද්දෝ මගේ ඔළුව වටේ කැරකී ගෙන ළඟටම එනවා. ඉතින් මං හොඳටම බය වෙලා අඩාගෙන දුවලා ආවා. පස්සේ මේ මාමාලා තමයි කිව්වේ ඒ කැමරාවක් කියලා.''
කොහාමද පුතා දෙබස් මතක තියා ගන්නේ?
''ඒ මාමලා මට කියලා
දෙනවනේ..''
සෝරත පොඩි හාමුදුරුවෝ ගැන කවීෂ් පුතාගේ යාළුවෝ මොකද කියන්නේ?
''තවම නම් එයාලා කෝල් කළේ නැහැ. අම්මලා විතරයි කෝල් කළේ. කෝල් කරලා මාව ටීවි එකේ දැක්කා කියනවා.''
පුතා ගේ රඟපෑම් ටී.වී එකේ බලනවාද?
''ඔව්. ඒ වෙලාවට මට හිනා යනවා.''
කවීෂ් පුතාට දැන් යාළුවෝ එහෙමත් ගොඩාක් ඇති නේද?
''ඔව්. ගොඩක් යාළුවෝ ඉන්නවා.''
කවුද පුතාගේ හොඳම යාළුවා ?
''හොඳ යාළුවා තවම තෝරා ගන්න බැරි වුණා.''
එතකොට සරණ ?
''රඟපාද්දි විතරයි සරණ මගේ යාළුවා. නැත්නම් මම එයාට එච්චරම කැමැති නැහැ.''
ෂුටීන් ගියහම ඉස්කෝලේ වැඩ අතපසු කර ගන්නේ නැහැ නේද?
''තවම එහෙම ඉස්කෝලේ වැඩ අතපසු වුණේ නැහැ. මම අතපසු කරන්නේ නැහැ.. දෙකම හොඳට කරනවා.''
පුතාගේ පාසල ගැනත් අපි කියමු නේද?
''පනාගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලයේ 1 වසරෙ තමයි මම ඉන්නේ.''
පුතා වැඩියෙන් කැමති අකුරු ලියන්නද චිත්‍ර අඳින්නද?
''අකුරු ලියනවා, චිත්‍රත් අඳිනවා.''
පුංචි කවීෂ් නේද ගෙදර හුරතලා?
''ඔව්. හැබැයි මට තව මල්ලියෙකුත් ඉන්නවා.''
පුතා දැන් දිගටම රඟපාවී නේද?
''අම්මා නම් කියන්නෙ දෙරණයි, හොඳ නිෂ්පාදක, අධ්‍යක්ෂ මාමලා අඬ ගැහුවොත් විතරක් යවනවා කියලා.''
ලොකු වුණාම කවුරු වෙන්නද කැමැති?
''බස් හදන කෙනෙක්...''
හොඳමයි පුතේ ඔයා ඉක්මනින් සනිප වෙන්න අපි එන්නම් අයිත් දවසක ඔයාව බලන්න..
''හා ...බුදු සරණයි! කියමින්ම ඔහු දිව ගියේ සෙල්ලමටය..''.
එහෙනම් අපි ගිහින් එන්නම්! සිඳු කණ්ඩායමට සුබ පැතුම් එක් කරමින් ඊළඟ සතියේ සිදූට පන පොවන පුංචි පුතාවත් හමුවන බලාපොරොත්තුව ඇතිව නැවත අපේ වාහනයට ගොඩ වූයේ ඒ සොඳුරු මතක ඉක්මනින් අකුරුවලට පෙරලීමට
සිතාගෙනය..
Description: Sindu teledrama child actor 2016
Loading...