Amazone

January 5, 2017

Tagged Under: , , ,

Things Women May Experience When They Become Sexually Active

By: Blog Poster On: 9:59 AM

අලුත් පරම්පරාවේ තරුණියන් ලිංගික උගුල්වලට හසුවන්නේ සිය කැමැත්තෙන්මද?

ආදරය ප්‍රකාශ කිරීමේදී මෙන්ම, ලිංගික කටයුතුවලදීත් සාමාන්‍යයෙන් පෙරමුණ ගන්නේපිරිමියාය. පිරිමියා ක්‍රියාකාරී පාර්ශ්වය හෙවත් Active Partner ලෙසින් හඳුන්වන්නේ ඒ නිසාය. කාන්තාව මෙහිදී පිරිමියාට අවනත වීම සිරිතය.මේ කීවේ අපේ සංස්කෘතිය තුළ කාන්තාවගේ ස්වභාවයයි. නමුත් වර්තමානය වන විට මෙහි වෙනසක් ඇතිවී තිබේ. ඒ අනුව අපේ සමාජය තුළ දැන් නව යොවුන් තරුණියන් සිය කැමැත්තෙන් පෙම්වතුන් සමග කායික සම්බන්ධතා ඇතිකර ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති බව බොහෝ විද්වතුන්ගේ ද මතයයි. අපේ තරුණ පිරිස මෙසේ අපේ මතෛක් පැවතුණ සංස්කෘතික සම්ප්‍රදායන්ට එරෙහිව යමින් සිටින්නේ ඇයිද යන කරුණ පිළිබඳව ප්‍රකට සමාජ විද්‍යාඥයෙකු සහ ප්‍රවීණ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙකු වන කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා පලකළ අදහසුයි මේ.

මේ සම්බන්ධයෙන් මගේ මතය විස්තර කිරීමට පෙර ඔබටම අවබෝධ කරගත හැකි වන පරිදි මා අත්දුටු සිද්ධියක් මුලින්ම විස්තර කරන්නම්.බොහොම දුර බැහැර දුෂ්කර පළාතක අවුරුදු දාහතරක යුවතියක් පෙම්වතෙකු ඇසුරු කළා. පෙම්වතාගෙ වයසත් අවුරුදු දාහතරයි. දෙන්නගෙ මාස කීපයක වයස් පරතරයක් තිබුණෙ. මේ දෙන්නම පාසල් අධ්‍යාපනය අතරමගින් නතර කරල නිවසේ කාලය ගත කරපු අය.

මේ පළාත්වල වැසියන්ගෙ ජීවනෝපාය ගොවිතැන. කැලෑ එළිකරගෙන හේන් ගොවිතැන් කිරීමෙනුත් සමහර කාලවලදී කුලී වැඩ කිරීමෙනුත් උපයා ගත්තු මුදලින් තමයි ඔවුන් තම දරු පවුල නඩත්තු කළේ. එක පවුලෙ දරුවනුත් හතර පස් දෙනෙක් විතර ඉන්නවා.
උදේ පාන්දරින්ම හේනට යන දෙන්නා දෙමහල්ලන්ට තම දරුවන් ගැන සොයා බලන්නට අවකාශ තිබුණෙ නෑ.


ඒ හේතුව මත මේ පෙම්වතුන් යුවළටත් රිසිසේ නිදහස භුක්ති විදීමේ අවස්ථාව ලැබුණා. මේ ප්‍රදේශවල අඩුවයසින් විවාහ වීමත් හරිම සාමාන්‍ය දෙයක්. දැන් ඒ තත්ත්වය පාලනය වී තිබෙන්නේ අවුරුදු දහ අටට පෙර විවාහ වීමේ අවසරයක් අපේ නීතිය තුළ නැති නිසයි.
කෙසේ හෝ තරුණියගේ දෙමව්පියන්ට ඇයගේ ප්‍රේම සම්බන්ධය රහසක් වුණේ නෑ.


මෙහි ඊළඟ ප්‍රතිඵලය වුණේ අවුරුදු දාහතරේ පෙම්වතා අතින් එම වයසේම හුන් පෙම්වතිය ගැබ් ගැනීමයි. අවුරුදු දහ අට පිරෙන තුරු විවාහ වීමට දැන් නීතියෙන් අවසර නැති බවවත් මේ මව්පිය යුවළ දැන නොසිටින්න ඇති. තම දියණිය මවක් වන්නට යන නිසා ඔවුන් දෙදෙනා කැටුව මව්පියන් විවාහ රෙජිස්ට්‍රාර්වරයා වෙත ගියා. නමුත් නීතියට පිටින් යාමට විවාහ රෙජිස්ට්‍රාර්වරයා එකඟ වුණේ නෑ. අන්තිමේ මව්පියන්ට සිදුවූයේ සිය ගැබ්බර අවිවාහක දියණියත් කැටුව ආපසු එන්නටයි.
කුමක් කළ යුතුද කියා වැටහීමක් නොවුණු මේ මව්පියන් ‍පොලීසියට ගියේ සිය දියණිය ඇගේ පෙම්වතාට විවාහ කර දිය හැකිද සොයා බලන්නටයි. එමගින් සිදුවුණේ බාල වයස්කාර තරුණියක දූෂණය කිරීමේ චෝදනාව මත තරුණයා අත්අඩංගුවට ගැනීමයි. නඩුවෙන් ඔහුට වසර ගණනක සිර දඬුවමක් නියම වුණා. තරුණිය පරිවාස භාරයට පමුණුවනු ලැබුවා.


තරුණියට වගේම ඇගේ දරුවාටත් මෙබඳු ඉරණමක් අත්වූයේ නීතිය සහ මනුෂ්‍යත්වය එකට පෑහුනේ නැති නිසයි. ‍පොලිස් නිලධාරීන් පවා මෙතැන ලිංගික අපචාරයක් සිදුව නැති බව හොඳාකාරවම දැන සිටියත් නීතියට එරෙහිව යන්නට ඔවුන්ට හැකියාවක් තිබුණෙ නෑ.
එසේ කී වැල්ලවත්ත මහතා ඉහත කී කරුණු තවදුරටත් සනාථ කිරීම සඳහා තවත් සිද්ධියක් ගෙනහැර පෑවේය.


එම සිද්ධියට අනුව පහළොස් හැවිරිදි යුවතියක් වයස විසි ගණන්වල තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගත්තාය. මේ සම්බන්ධයටද දෙපාර්ශ්වයේම අනුමැතිය ලැබිණි. එනිසා දෙදෙනාම දෙදෙනාගේ නිවෙස්වලට යාම ඒම සාමාන්‍ය දෙයක් බවට පත් විය.


මේ අතර තරුණයාගේ සොයුරියකගේ විවාහ මංගල්‍යයේ කටයුතුවලට උදව් වන්නට ගිය තරුණිය සිය දෙමාපියන්ගේ එකඟතාවය මතම පෙම්වතාගේ නිවසේ දින කිහිපයක් නතර වූවාය. විවාහ මංගල්‍යය අවසන් විය. එහෙත් තරුණියට ආපසු යෑමට සිතක් නොවිණි. තරුණයාට ද වුවමනා වූයේ ඇය නතර කර ගන්නටය. මෙසේ ටික කලක් ගත විය. තරුණිය ගැබ් ගත්තාය.


බාල වයස්කාරියක නිවසේ රඳවා ගෙන හිඳින බවට ඔවුන්ගේ තරහකාරයකු ‍පොලීසියට නිර්නාමිකව දුරකථන ඇමතුමක් යොමු කර තිබිණි. ඒ අනුව තරුණයා අත්අඩංගුවට ගනු ලැබිය. ඒ හේතුවෙන් තරුණයාගේ මව්පියෝ තරුණියට එරෙහි වූහ. ඒ හේතුවෙන් තරුණියට ආපසු නිවසට යාමට සිදුවිය. දැන් ඇයටත් කුස තුළ වැඩෙන දරුවාටත් කිසිවෙකු නැත.


වැල්ලවත්ත මහතා තවදුරටත් දක්වන පරිදි අවුරුදු දහ අටට අඩු තරුණියකට විවාහ වීමට නීතියෙන් අවසර නොදීමට සෞඛ්‍යමය හේතු ද ඇත. අවුරුදු දහ අටට අඩු තරුණියකගේ ශරීරය වැඩී තිබුණත් ඇය සලකන්නේ බාලවයස්කාරියක ලෙසිනි. එනම් ළමයෙකි.


ළමයෙකුට ළමයෙක් බිහිකිරීමට සිදුවීම යනු ඒ ළමයින් දෙදෙනාටම සෞඛ්‍යමය පැත්තෙන් සිදුවන විශාල හානියකි. එසේම ළමයකුගේ ළමා කාලය අහිමිවීමද විශාල ඛිෙදවාචකයක් නොවන්නේද?


මේවා සම්බන්ධයෙන් දෙමාපියන්ට වගකීමක් ඇත. නමුත් අප මෙසේ පවසන්නේ නාගරික මැද පන්තිය දෙස බලාගෙනය. ඉතා දුරබැහැර දුෂ්කර පළාත්වල ජීවත් වෙමින්, හේන් ගොවිතැනින් හා කුඹුරු ගොවිතැනින් යැපෙන, දරුවන් වැඩි දෙනෙකු එම ආදායමින් ජීවත් කරවන මව්පියන්ට දරුවන් ගැන වැඩි අවධානයක් යොමු කරන්නට ඔවුන් සමග කාලය ගතකරන්නට වෙලාවක් නැත. දෙමාපියන් හේනට ගිය පසු බොහෝවිටම බාල සහෝදර සහෝදරියන්ව බලා ගන්නේ වැඩිමහල් සහෝදරියයි. ඇය අවුරුදු අටක් දහයක් තරම් වුවද ඇයට මේ කාර්යය පැවරීම හැර මව්පියන්ට වෙන විකල්පයක් නැත.


ගෙදර සිට සෑහෙන දුරකට ඇවිද ගොස් ගෙට වතුර රැගෙන එන්නේ ඇයයි. නංගිලා මල්ලිලාට කවා ‍පොවා නිදිකරවන්නේත් ඔවුන්ගේ කැත කුණු සෝදන්නේත්, පවු‍ලේ සියලු දෙනාගේ කිලිටි ඇඳුම් හෝදන්නේත් ඇතැම්විට කෑම පිසින්නේත් ඇයයි. මේ කුඩා දැරියන්ට අවුරුදු අටේ දහයේ සිටම ළමා විය අහිමිය. ඒ අනුව වයසින් අඩු වුණත් මනසින් ඔවුන් වැඩිහිටියන් වන්නේ ඉබේමය. ඔවුන්ගේ සිතුවිලි ද වැඩිහිටියන්ගේ පරිදි සැකසේ.


නාගරික මධ්‍යම පන්තිය තුළ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා තම දියණිය පවා දෙමාපියන්ට පෙනෙන්නේ ළමයකු මෙනි. නමුත් අපට නොපෙනෙන, නිතර අසන්නට නොලැබෙන දුර බැහැර දුෂ්කර ප්‍රදේශවල කටුක දිවිපෙවතක් ගත කරන පවුල්වල කුඩා දැරියන් අවුරුදු දහයක් වීමටත් පෙර මනසින් වැඩිහිටියෝ වී සිටිති. දෙමාපියන්ට ද ඔවුන් ලොකු මහත් වූ දරුවන්ය.


ඒ නිසා මේ දරුවන්ගේ දෙමාපියන්ට ඔවුන් ආදරය රැකවරණය ලැබිය යුතු කුඩා වයසක හිඳින බවක් නොහැඟේ. ඒ අනුව එවැනි අඩු වයස්වල දැරියන් ලිංගික සම්බන්ධතාවලට කැමැත්තෙන් නැඹුරුවීම තුළ අරුමයක් නැත. හේතුව ශරීරය නොවැඩුණත් වැඩිහිටි මනසක් තිබිමය.


මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මාත‍ලේ මහ රෝහ‍ලේ මානසික රෝග විශේෂඥ වෛද්‍ය ගිහාන් අබේවර්ධන මහතා දක්වන්නේ මෙවන් අදහසකි.


“මීට දශක තුනකට පමණ එහා අතීතයේදී වගේ නමෛයි දැන් සමාජය බොහෝ දුරට බටහිර සංස්කෘතියට අනුව වෙනස් වෙලා. තදබල මානසික පීඩනය හේතුවෙන් හට ගන්නා විශාද රෝගය වගේම විභාග ප්‍රශ්න ආදී ගැටලු නිසා අප වෙත පැමිණෙන පාසල් සිසුවියන්ගෙන් අප බොහෝ විට අහන ප්‍රශ්නයක් තමයි ‘පෙම්වතෙක් ඉන්නවද?’ කියන එක.මෙහිදී බොහොම කලාතුරකින් කෙනෙක් ‘නෑ’ කියනවා. ඒ හැරෙන්න අනිත් හැමෝම කියන්නෙ ‘ඔව්’ කියලයි.


වෛද්‍ය අබේවර්ධන මහතා මෙහිදී ඉතා වැදගත් අදහස් කිහිපයක් මතු කළේය.


වර්තමානයේ අධ්‍යාපනයෙහි යෙදෙන තරුණ තරුණියන් දිවි ගෙවන්නේ විශාල මානසික ආතතියකිනි. අධික තරගකාරිත්වය නිසා විභාග පිළිබඳ බිය, අනාගතය පිළිබඳ බිය මේ මානසික ආතතිය ඇති කිරීම සඳහා බෙහෙවින් ඉවහල්වී ඇත. ප්‍රේම සම්බන්ධතාවලට යොමුවීම තුළින් ඔවුන් තම මානසික ආතතිය යම් පමණකට හෝ පහ කර ගනු ඇත. මෙය කාලය විසින් සිදුකරන ලද සිතුවිලිවල වෙනස්කමක් මිස එදා තරුණ පරපුරට වඩා අද තරුණ පරපුරේ හෝමෝනවල අලුත් විපර්යාසයක් නිසා සිදුවූ තත්ත්වයක් නොවේ.


වත්මන් දරුවන් තුළ කුඩා කල පටන්ම දැකිය හැකි අපේක්ෂා භංගත්වය, මානසික අස්ථාවරභාවය, කායික මානසික අනාරක්ෂිතභාවය අධ්‍යාපනය නිසා තිබෙන බර, දෙමාපියන් කාර්යබහුල වීම මත ඔවුන්ගේ ආදරය රැකවරණය ප්‍රමාණවත් ලෙස නොලැබිම, සමහර පවුල්වල දරුවන්ට මව හෝ පියා අහිමි වීම, ඔවුන් එකට ජීවත් වුණත් ඔවුන් තුළ ඇති අඩදබර මේ සියල්ල දරුවකුගේ මානසික පීඩනය අහස උසට වර්ධනය කරවන දේවල්ය.


ඒනිසා තමන්ට කැමති පිරිමියකුට නතුවී එතුළින් සතුටක් අස්වැසිල්ලක් ලබන්නට යොවුන් දැරියන් නැඹුරු වනු ඇත. නැතහොත් තමා කැමති පිරිමියකුට තම අදහස ප්‍රකාශ කරන්නටද ඔවුහු පසු නොබසිති.


පාසල් වියේ ප්‍රේම සම්බන්ධතා දැන් කොතෙක් ව්‍යාප්ත වී ඇතිදැයි කිවහොත් පෙම්වතෙකු නැති තරුණියක සොයා ගැනීමටත් අපහසු තරම්ය. එය විලාසිතාවක් වී ඇති අතර ප්‍රේම සම්බන්ධයක් නැති යුවතියක් අනෙක් අය අතරේ කොන් වන තත්ත්වයටම මෙය ඔඩු දුවා තිබේ. යම් යුවතියකට පෙම්වතෙකු නොමැති නම් එම යුවතිය සිතන්නේ තමාගේ පෙනුමේ හෝ පෞරුෂයේ අඩුපාඩුවක් නිසා පිරිමින්ගේ ආකර්ෂණයක් නොලැබෙන බවය. එය ඇය තුළ මහත් ලැජ්ජාවක් ඇති කරවන කරුණක් වන බව විශේෂඥ වෛද්‍ය අබේවර්ධන මහතා පවසයි.


මේ වයසේ තරුණයන්ට විනෝදාස්වාදය පතා බොහෝ දේවල් තිබේ. නමුත් තරුණියකට ඇති ඉහළම දේ මෙයයි. ඒ නිසා තම පෙම්වතා වෙනස් වෙයි, තමා අතහැර යයි යන බිය නිසාම තරුණියන් පෙම්වතුන් විසින් කරනු ලබන ලිංගික ආරාධනාවන්ට නතුවන්නේ ඔහු තමා වෙතම රඳවා ගැනීමේ එක් උපක්‍රමයක් ලෙසය. එසේම තරුණයන්ට මුදල් තිබේ නම් ලිංගික ආස්වාදය ලබාගත හැකි මං පෙත් ද තිබෙන නිසා තරුණියන් උත්සාහ කරන්නේ තම පෙම්වතා හැකි ඉහළම අන්දමින් සතුටු කිරීමටය.

අතීතයේ තරුණියන්ගේ කන්‍යාභාවය පිළිබඳව මහ ඉහළින් තැකීම අපේ සමාජය තුළ තිබිණි. ඒ අනුව යුවළක් විවාහ වී මධුසමය ගත කර දවෛනි ගමන ආ දිනයේ මනාලියගේ රුධිර පැල්ලම සහිත සුදු රෙද්ද දකින්නට මනාලයාගේ මව ඇතුළු කාන්තා පාර්ශ්වය රෙදි නැන්දා කෙනෙකුද සමගින් සූදානම්ව සිටිති. එවැන්නක් නොතිබුණොත් මනාලිය එදිනම ඇගේ වැඩිහිටියන් සමග ආපසු පිටත්කර හැරීම සිදුවෙයි.
නමුත් කාන්තාවන්ගේ කන්‍යා පටලය විවිධ ආකාරවලින් පිහිටිය හැකි නිසා හැම තරුණියකටම පළමු කායික එක්වීමේදී රුධිරය පිටවීම ‍පොදු තත්ත්වයක් නොවන බව වත්මන් වැඩිහිටියෝ දනිති. එනිසා තරුණියකගේ පවිත්‍රත්වය පිළිබඳව මනින එම මිනුම් දණ්ඩ අසාර්ථක ක්‍රමයක් බව අවබෝධ කරගැනීම මත එය නවීන සමාජයෙන් පිටමං වී ගොස් තිබේ.


මේ නිසාද තරුණියන්ට විවාහයට පෙර පවත්වන ලිංගික සම්බන්ධතා පිළිබඳ බිය නැතිවී ගොස් ඇත. මෙවැනි සිරිත් තවදුරටත් පැවැතිය යුතු බවක් අපි මෙහිදී කිසිසේත් අදහස් නොකරමු. අප මේ දැක්වූයේ නව යොවුන් තරුණියන් පාසල් වියේදී සිටම පවා පිරිමින් හා කායික සම්බන්ධතාවලට යොමුවීමට බලපාන තවත් එක් හේතුවක් පමණි.
උපුටාගැනීම - ලක්බිම


මිතුරන් දැනුවත් කරන්න SHARE කරන්න. උනුසුම් පුවත් ඔබේ Wall එකටම ගෙන්වා ගන්න Page එකට Like එකක් දාන්න.
Description: Teenage girls more sexually active than a decade ago
Loading...