March 16, 2017

Tagged Under: , , , , ,

Buvini Diyalagoda, Sri Lankan Acress fear for marriage

By: Blog Poster On: 2:18 PM

මම කසාද බඳින්න බයයි – බුවිනි දියලගොඩ


රංගනයේදී වගේම නිවේදනයේදී දක්ෂතා පළ කරන බුවිනි, පෙනුමෙන් රුවැත්තියක්. මේ පළවන්නේ කාලෙකට පසුව අපි ඇය සමග කළ පුංචි කතාබහක සටහනක්.

බුවිනිගෙ අලුත්ම තොරතුරු මොනවද?
ටිකක් අසනීප තත්ත්වයෙන් ඉන්නේ. ඒ නිසා ෂූටිං වැඩ භාර ගන්නේ අඩුවෙන්. ඒත් නිවේදන කටයුත්ත නම් හැම සතියකම අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. එහෙම තමයි කාලය ගත වෙන්නේ.

බුවිනිට කලා ලෝකෙට පාර පෙන්නුවේ අක්කා නේද?
ඔව්. මගේ අක්කා වත්සලා දියලගොඩ කියන්නේ ප්‍රසිද්ධ නිළියක්. එයා මට කලාවට විතරක් ‍නෙවෙයි, ජීවිතේ හුඟක් දේවලට පාර කියලා තියෙනවා.


පවු‍ලේ අනික් අයගේ උදව් කොහොමද ලැබෙන්නේ?
දෙමාපියන්ගේ ආශිර්වාදය කියන එක උපරිමයෙන්ම ලැබෙනවා. ඊට අමතරව ඉන්නේ මල්ලි. එයා කලාවට සම්බන්ධ නැති වුණත් අක්කගෙයි, මගෙයි නිර්මාණ බලලා කමෙන්ට්ස් දෙනවා. හැබැයි කවදාවත් මල්ලි අපට හොඳක් නම් කියන්නේ නෑ. ඇද අඩුපාඩු විතරමයි කියන්නේ. එහෙම තමයි ඉතිං මල්ලිලාගේ හැටි.

කලාවට ඇවිත් ගතවුණ කෙටි කාලය ගැන දැන් බුවිනිට මොනවද හිතෙන්නේ?
සතුටුයි. කලාව කියන්නේ උතුම් ක්‍ෂේත්‍රයක්. පිට ඉඳන් බලන මිනිස්සු කලාව ගැන වපර ඇහින් බලනවා. ඒත් මම හිතන්නේ කලාවේ ඉන්න හැමෝම නරක නැහැ. නරක මිනිස්සු හැම ක්‍ෂේත්‍රයකම ඉන්නවා. ඒත් කලා ලෝකේ ඉන්න අය පුංචි වරදක් කළත් ඒවාට ප්‍රසිද්ධිය ලැබෙනවා. ඒත් හිමිහිට හිතලා බැලුවොත් ලෝකේ ඕනම මනුස්සයෙක් දුකට පත් වුණාම එයාට සැනසීම ලැබෙන්නේ කලාවෙන්.

ප්‍රශ්නයක් හිතේ තියාගෙන කැමරාව ඉස්සරහට යන්න සිද්ධවෙලා තියෙනවද?
අ‍පොයි ඔව්. සාමාන්‍යයෙන් මම මනසින් සැහැල්ලු නැත්නම් මට කිසිම වැඩක් කරගන්න බැහැ. කන්න බොන්නවත් බැහැ. ඒත් සමහර වෙලාවල ප්‍රශ්න ඔලුවේ තියෙද්දී ඒවා අමතක කරලා රඟපාන්න වෙලා තියෙනවා. ඒක හරිම අමාරු අත්දැකීමක්. දත කාගෙන රඟපානවා කියන්නේ ඒ වගේ වෙලාවට තමයි.

ඔය වයසෙදි තියෙන්නේ “ආදරේ” ගැන ප්‍රශ්න නේද?
එහෙම ම කියන්නත් බෑ ඉතිං. ජීවිතේ ගැනත් අපට ප්‍රශ්න තියෙනවානේ. කොයිතරම් සිදුවීම් වෙනවද. ඒ හැම එකම ආදරේට සම්බන්ධ නැහැනේ.

ක්‍ෂේත්‍රයේ කැපිලි කෙටිලි අඩුවක් නෑ නේද?
මට නම් කවුරුත් එහෙම කැපිලි කෙටිලි දාන්න එන්නේ නෑ, ප්‍රවීණ අයට මම ගරු කරනවා. ඒ නිසා එයාලා මට ආදරෙයි. මගේ වයසේ හැමෝම එක්කත් මම හුඟක් සමීපව වැඩ කරනවා.

ජනප්‍රිය අයට සෝෂල් මීඩියාවලින් කරදරයි නේද?
මට තියෙන එකම කරදරය මගේ නමින් තව බොරු ෆේස්බුක් ගිනුමක් තියෙන එක තමයි. හැබැයි ඒ ගිනුම පවත්වාගෙන යන එක්කෙනාත් මගේ ගැන බොරු මඩ ප්‍රචාර ගෙනියන්නේ නැහැ. ඒ නිසා ටිකක් සැනසීමෙන් ඉන්නවා. සමාජ මාධ්‍ය එක්ක වැඩකරද්දී මම හරිම ප්‍රවේශම්. මගේ අතිශය පෞද්ගලික දේවල් කවදාවත් මම ෆේස්බුක් එකට දාන්නේ නැහැ.

කරදරකාර රසිකයෝ නැද්ද බුවිනිට?
රසිකයෝ ඉන්නවා. කරදර කරන්නේ නෑ. ලියුම් එවනවා. මැසේජ් එවනවා. ඒවා හැම එකටම උත්තර දෙන්නත් සමහර වෙලාවට බැරි වෙනවා. ඒත් ඉතිං මට කරදරයක් නැහැ.

සාමාන්‍ය කෙල්ලකට තියෙන නිදහස බුවිනිට නැද්ද?
ඒක නම් එහෙම තමයි. සමහර අයට අපි යන එන තැන් පවා ප්‍රශ්නයක්. හුඟක් අය ආසයි ප්‍රසිද්ධ අයගේ ඕපාදූප අහන්න. ඒකට මම නම් කැමැති නැහැ. එතකොට අපට ජීවත් වෙන්න හරි අමාරුයි.

ලස්සන රැක ගන්න විදිය කියන්න කැමැතිද?
සැලෝන් යන්නේ නෑ… ක්‍රීම් ගාන්නේ නෑ කිව්වොත් ඒ දෙකම බොරු වෙනවා. හැබැයි ඒවා ගැන තියෙන උනන්දුව මට කෑමබිම ගැනත් තියෙනවා. මම අලුත් එළවළු, පලතුරු කනවා. හොඳට වතුර බොනවා. ඒ වගේම සතුටින් ඉන්නවා.

ගොඩක් ලස්සනට ඉන්න ගොඩක් සල්ලි ඕනද?
නෑ. මේකප් දාගෙන ඉන්න තමයි සල්ලි ඕන වෙන්නේ. මේකප් දාන්නේ කැත නැති කරගන්නනේ.

ප්‍රේමවන්තයා ගැනත් කියමු?
ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා. එයා ව්‍යාපාරිකයෙක්. දේශපාලනයට සම්බන්ධයක් නෑ. මම ප්‍රාර්ථනා කරන්නෙත් එයා දේශපාලනයට සම්බන්ධ නොවේවා කියලා තමයි.

විවාහ වෙන්නේ කවදාද?
බඳින හැමෝම මට කියන්නේ අම්මෝ දැන්ම නම් කසාද බඳින්න එපා කියලයි. ඒ නිසා මම බඳින්න බයයි. මොකද විවාහය ගැන දන්න මිනිස්සුනේ එහෙම කියන්නේ

මදුෂි හසරංගි
ඡුායාරූප: චමිල කරුණාරත්න





Description: Buvini Diyalagoda, Sri Lankan Acress, Actress, Models, Funny, Gossip,
Loading...