Amazone

May 23, 2017

Tagged Under: , , , ,

I will come back to acting - achala Alas

By: Blog Poster On: 6:16 AM

පුතා කියන නිසා ආයෙ රඟපාන්න එන්නත් බැරි නෑ – ප්‍රවීණ රංගන ශිල්පිනී අචලා අලස්



ඇය රංගන ක්‍ෂේත්‍රයෙන් ඈත්වෙලා දශක දෙකකට වඩා වැඩි කාලයක් ගතවෙලා. ඇගේ රංගනය ගැන තවමත් හැමෝම කතා වෙනවා. ඒ ඇගේ නොමියෙන සුන්දරත්වය වගේම රංගනය තිබූ දක්ෂතාව නිසා කීවොත් නිවැරදියි. නමින් අචලා අලස් වන ඇය අද ක්‍ෂේත්‍රයේ දක්නට නොලැබුණත් ඇයට කතා කළේ අලුත් තොරතුරු දැනගන්නයි.* ඉතින් අචලා?

හොඳයි. හැමදාම වගේ සතුටින් ඉන්නවා.
* මොනවද අලුත් තොරතුරු?
විශේෂ දෙයක් නෑ. පුතා ලබන මාසේ ලන්ඩන් ඒ/ඹ් වලට ලෑස්ති නිසා ඒ වැඩවලට වැඩිපුර අවධානය දීලයි තියෙන්නේ.
* අචලාට කොහොමද මුලින්ම රංගනයට අවස්ථාව ලැබෙන්නේ?
මම රූප රැජන තරගයකින් රූ රැජන ලෙස තේරී පත්වෙනවා. ඒ හරහා තමයි මට රංගනයට ඇරයුම් ලැබෙන්නේ. ධම්ම ජාගොඩ මහත්මයා තමයි ටෙලි නාට්‍යයට ආරාධනා කරන්නේ රංගනයෙන් එකතුවෙන්න කියලා.
* රූ රැජන තරගයට කවුද අයැදුම් කරන්නේ?
ඒ තරගයට මගේ පින්තූරය යවලා තියෙන්නේ මගේ යාළුවෙක්. අපි ගිහින් පින්තූරයක් ගන්නවා. නමුත් ඇය මට කීවේ නෑ මෙහෙම තරගෙට යවනවා කියලා. ඇය පින්තූරය තරගයට යවපු නිසා මම ඒ තරගෙට තෝරගෙන තිබුණා.
* අචලාට විශ්වාසයක් තිබුණද මේ තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා?
මම ලස්සනයි කියලා මම හිතාගෙන හිටියේ නෑ. සමහර යාළුවෝ නම් කීවා මම ලස්සනයි කියලා. තවත් යාළුවෝ කීවා මම කොල්ලෙක් වගේ කියලා. කොහොමත් ඒ දවස්වල මම කොල්ලෙක් වගේ. පාස‍ලේ මම ක්‍රීඩා කළ කෙනෙක් නිසා අව්වේ කර වෙවී හිටිය කෙනෙක්. ඒ නිසා මම හිතුවේ නෑ මම ලස්සනයි කියලා.
* තරගෙට සහභාගි වුණහම මොකද හිතුණේ?
ජොලියට තමයි මේ තරගෙට සහභාගි වුණේ. දැන් වගේ ඉස්සර නාන ඇඳුමින් හැමෝම ඉදිරිපිටට ගියේ නෑ. එක තැනක තමයි ඒ දේවල් තිබුණේ. ජයග්‍රාහිකාව ලෙස නම කියද්දී ගොඩක් සතුටු හිතුණා.  අද වගේ ඉතින් මාධ්‍යවලින් ලොකු ප්‍රචාරයක් ලැබුණේ නෑ.
* මේ තරගයෙන් අනතුරුව ඔබට රංගනයට වරම් ලැබෙනවා. වෘත්තීයමය රංගන ශිල්පිනියක් වෙන්න කැමැත්තක් ඇතිවුණේ නැද්ද?
නෑ. මම රංගනයට දායක වුණේ වෘත්තීයමය නිළියක් වෙන්න හිතාගෙන නෙමේ. ඇත්තටම ධම්ම ජාගොඩ මහත්මයා මාව බලෙන් රඟපාන්න ගත්තේ. එන්න එන්න කියලා මට බල කළා. මම ක්‍රීඩා කරපු  කෙනෙක් නිසා රංගනය මට වෙනමම අත්දැකීමක් වුණා. එක පැත්තකින් කරදරයක් වුණා. රංගනයට දායක වුණාට පස්සේ කැමැත්තක් ඇති වුණා. ඒත් දිගටම රැඳෙනවා කියලා ආසාවක් තිබුණේ නෑ.
* දෙමව්පියෝ කැමැති වුණාද අචලා රංගනයට එකතු වුණාට?
මට එහෙම ප්‍රශ්නයක් තිබුණේ නෑ. මගේ තීරණය වුණේ වැඩ දෙක තුනකට සම්බන්ධ වෙලා රංගනයෙන් ඉවත්වෙනවා කියලයි.
* ඔබේ ආදරණීය සැමියාව මුණගැහෙන්නේ රූප රාජනී තරගයෙන්ද?
නෑ. මම කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ සේවය කළා. එතැන දී තමයි මගේ සැමියව මුණගැහෙන්නේ.
* විවාහයෙන් පස්සේ රංගනයෙන් ඉවත් වෙන්න කියන්නේ සැමියද? නැත්නම් ඔබම ගත් තීරණයක් ද?
කිසිම දේකට ඔහු මට නීති දැම්මේ නෑ. අරක කරන්න එපා මේක කරන්න එපා කියලා ඔහු කීවේ නෑ. නමුත් මමමයි තීරණය කළේ විවාහයෙන් පස්සේ රංගනයෙන් ඉවත් වෙනවා කියලා.
* එදා ක්‍ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කළේ කවුද?
මම රංගනයෙන් දායක වුණ නිර්මාණවල හිටිය නළු නිළියෝ එක්ක මම ඒ කා‍ලේ සුහදව හිටියා. ඊට පස්සේ කිසි බැඳීමක් තිබුණේ නැහැ. මම ඔය ප්‍රිය සම්භාෂණවලට සහභාගි වෙන්න අකැමැති නිසා ඒ සම්බන්ධකම් දුරදිග ගියේ නෑ.
* රංගනයෙන් ඉවත්වීම ගැන දුකක් නැද්ද?
නෑ. කවදාවත් එහෙම හිතිලා නැ. කවුරු හරි මගේ ගමන නැවැත්වුවා නම් මම දුක්වෙන්න තිබුණා. මට ලැබිලා තියෙන ජීවිතේ ගැන මම සෑහීමකට පත්වෙන කෙනෙක්.
* තවමත් රංගනයට ඇරයුම් ලැබෙනවා කියන්නේ ඇත්තද?
අවස්ථාව ලැබිලා තියෙනවා. වෙනදා පුතා අකැමැති වුණා මම රඟපාන්න යනවට. දැන් එයත් කියන්නේ අම්ම කැමැති දෙයක් කරන්න කියලා. මම රංගනයට එකතු වෙයිද නැද්ද කියන දේ ගැන මම දන්නේ නැහැ. ඉස්සරහට මට රඟපාන්න හිතුණොත් කරයි.
ඒ නිසා නිශ්චිතවම කියන්න බෑ මම රංගනයට එයි කියලා. මොකද මම ක්‍රීඩාවට කැමැත්තෙන් ඉඳලා අහම්බෙන් රංගනයට ආපු කෙනෙක් නිසා අනාගතය ගැන නිශ්චිතව කියන්න බැහැ.
* දුකක් නැද්ද ඔබට ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න බැරිවීම ගැන?
හැමදාම ක්‍රීඩා කරන්නත් බෑ. හැබැයි ඒ පැත්තෙන් ඉස්සරහට යන්න ලොකු කැමැත්තක් තිබුණා. තවමත් මම ව්‍යායාම කරන්න හරි කැමැතියි. මම ඒ දේවල් අතහැරලා නැහැ.
* නිෂ්පාදිකාවක් වෙන්න කැමැත්තක් නැද්ද?
නැහැ. එහෙම අදහසක් නම් නැහැ.
* ජීවිතේ ආපස්සට හැරිලා බැලුවහම මොකද හිතෙන්නේ?
මම එදාට වඩා අද ජීවිතය ගැන හිතන විදිය ගොඩක්ම වෙනස් වෙලා. වයසට යනකොට ඒ දේ හිතෙන දෙයක්. ඉස්සර මට හරියට කේන්ති යනවා. ඒ දේවල් දැන් නිවිලා ගිහින්. ජීවිතේ වෙනස්කම් වෙලා තියෙනවා. එදාට වඩා මම තවත් දෙවියන් වහන්සේට ළංවෙලා කියලා හිතෙනවා. මම මිනිස්සු විදියට බලන විදිය වෙනස් වෙලා තියෙනවා. මට හිතෙන්නේ ඒ අතින් මම මෝරලා කියලයි.
* ගෙදරට වෙලා ගත කරන ජීවිතේ ඒකාකාරී නැත්ද?
හරි සතුටින් මම ඉන්නේ. මගේ පවුල තමයි අංක එක. මට කිට්ටු යාළුවෝ ටිකක් ඉන්නවා. ඒ අය එක්ක එහෙ මෙහේ යනවා. එහෙම තමයි ජීවිතේ ගත වෙන්නේ.
* තවමත් ඔබේ සුන්දරත්වය ගැන හැමෝම කතා වෙනවා. වයසට නොයෑමේ රහස කියන්න කැමැතිද?
මම මස් ආහාරයට ගන්නේ නෑ. වැඩිපුර එළවළු, කොළ, මාළු තමයි ආහාරයට ගන්නේ. කවදාවත් මම මද්‍යසාරවත් පාවිච්චි කරලා නෑ. ඇතැම් අය හිතනවා වයින් වීදුරුවක් දවසකට බිව්වට කමක් නෑ කියලා. ඒත් ඒ දේ වැරදියි. මද්‍යසාරවලින් රූපයට බලපෑමක් වෙනවා. ඒ දෙයින් වගේම දුම්පානයෙන් ඈත් වුණොත් අපට රූපය රැකගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හැමදාම ව්‍යායාම කරනවා. ඒ වගේම මට හොඳ සැමියෙක්, දුවෙක්, පුතෙක් වගේම හොඳ බෑනා කෙනෙක් ලැබිලා තියෙනවා. ජීවිතේ ගැන ඕනවට වඩා හිතන්නෙ නෑ. මම ගොඩක්ම ආගමට ලැදි කෙනෙක්. දෙවියන් වහන්සේව මම උපරිමයෙන්ම අදහනවා. මම කියන්නේ නැහැ මගේ අතින් වැරදි වෙන්නේ නැහැ කියලා. නිතරම බලන්නේ හොඳ කෙනෙක් වගේම සරල කෙනෙක් වෙන්නයි. මොහොතින් මොහොතයි මම ජීවිතය ගත කරන්නේ. ඒ වගේම බරපතළ විදියට මම අනාගතය ගොඩ නගන්න යන්නේ නෑ. ලැබෙන දෙයින් මම උපරිමයටම සතුටු වෙනවා. මම සුන්දරයි නම් ඒ දේවල් තමයි මගේ රහස.
තිළිණි කරුණාරත්න
ඡායාරූප – පමෝද් නිල්රු

 


Description: Achala Alas, Sri Lankan Actress, Models, Gossip, Actress,
Loading...