August 27, 2017

Tagged Under: , ,

Sri Lanka exam paper scam

By: Blog Poster On: 9:39 PM

ලංකාවෙන් ප්‍රථම වරට වාර්තා වූ අධිතාක්ෂණික විභාග වංචාව


නැවත නොවරදින එකම තේරීම…. මේ මොහොතේ ඔබ මුහුණ දුන් ප්‍රශ්න පත්‍රය සමග අප විසින් අවසන් සම්මන්ත්‍රණයේදී සිසුන්ට ලබා දුන් ප්‍රශ්න පත්‍රය සංසන්දනය කර බලන්න. ‍පෝස්ටර්, අත්පත්‍රිකා ජනප්‍රිය වැකි නොමැත. සුවහසක් දූ දරුවන්ගේ සිහින සැබෑකරන යුගයේ අසමසම රසායනික විද්‍යා දේශක ජිතේන්ද්‍ර රණසිංහ පුනරීක්ෂණ පන්ති සැප්තැම්බර් මස ආරම්භ කරන වගයි.මේ උසස් පෙළ රසායන විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයා විභාගශාලාවලින් පිටතට එන දරු දැරියන් හට ඉකුත් 19 දා මග දෙපසදී දුන් අත් පත්‍රිකාවකි. මෙම අත්පත්‍රිකාව සමග දුන් ආදර්ශ ප්‍රශ්න පත්‍රය බලද්දී දරු දැරියන්ට අදහගත නොහැකි විය.ගම්පහ රත්නාවලි, යශෝධරා බාලිකා ඉදිරියේ බෙදාහළ මෙම අත්පත්‍රිකාව සමග හමුවූ ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ මීට පැය කිහිපයකට පෙර තමන් ලියූ ප්‍රශ්න ඒ ආකාරයෙන්ම තිබෙන වග දැක දරු දැරියෝද අන්දමන්ද වූහ.කෙටි කාලයක් ඇතුළත මෙය රටම දැන ගන්නේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇති බවට මාතෘකාව සමගය. මේ සමග විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බව ඇති චෝදනාවත් සමග විභාග දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ‍පොලිසිය වෙත භාර කරයි.
මේ අනුව විමර්ශන කරන ගම්පහ ‍පොලිසිය රසායනික විද්‍යා දේශක ජිතේන්ද්‍ර රණසිංහගේ පියා සහ සොහොයුරා අත්අඩංගුවට ගන්නේ අත්පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධවය. ගුරුවරයා අතුරුදන් වී සිටි නිසා පියා සහ සොහොයුරා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම අත්පත්‍රිකා මුද්‍රණය කළ ග්‍රැෆික් නිර්මාණ ශිල්පියාද අත්අඩංගුවට ගැනුණේය.
මීට වසර පහකට පෙර එනම් 2012 දෙසැම්බර් 15දා අ‍පොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය කල්තියා පිටවීමේ සිද්ධිය හෙළිවූයේද ගම්පහෙනි. සම්පත් අත්තටගේ නමැති ගුරුවරයකු විසින් විභාගයට කලින්දා පිට කළ ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ විභාගයට පැමිණි ප්‍රශ්න 19ක්ම ඒ ආකාරයෙන්ම තිබුණේය.
පසුව මේ සම්බන්ධව රහස් ‍පොලිසිය කළ විමර්ශනයකදී සම්පත් අත්තටගේ නමැති ගුරුවරයාට රුපියල් ලක්ෂයකට මෙම ප්‍රශ්න පත්‍රය කලින් ලැබි ඇතැයි අනාවරණය විය. විභාග දෙපාර්තමේන්තු මුද්‍රණාලයේ ලිතෝ යන්ත්‍ර ක්‍රියාකරවන්නකු විසින් ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කරද්දී විදුලිය විසන්ධි වී මැෂිමේ හිරවුණ ප්‍රශ්න පත්‍රයක් ඉරා සාක්කුවේ දමාගෙන විත් මෙම ප්‍රශ්න පත්‍ර වංචාවට එක්වී තිබුණේය.
එදා ගම්පහින් කරළියට එන්නේ සාමාන්‍ය පෙළ විද්‍යා විභාග ප්‍රශ්න පත්‍රයේ හොරුන්ය. මෙවර ගම්පහින් කරළියට එන්නේ උසස් පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ හොරුන්ය.
රහස් ‍පොලිසිය වෙත මෙම විභාග ප්‍රශ්න පත්‍ර ජාවාරමත් සොයන්නට රජයෙන් නියෝග කෙරුණේය. රහස් ‍පොලිසියේ අත්දැකීම් සම්භාරයක් ඇති දක්ෂ විමර්ශකයකු වන ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි ශානි අබේසේකර යටතට මෙම විමර්ශන පත් කෙරේ.
ඒ අනුව රහස් ‍පොලිසිය මුලින්ම ජිතේන්ද්‍ර රණසිංහ නමැති ගුරුවරයාගේ නිවස පරීක්ෂා කර විභාග වංචාවෙන් සොයාගත් රුපියල් නවලක්ෂ අසූදහසක් සොයා ගත්තේය.
රහස් ‍පොලිස් විමර්ශනවලට අනුව අදාළ ගුරුවරයා කල්තියාම අතුරුදන් වුවත් මෙම ප්‍රශ්න පත්‍ර වංචාවේ අනෙක් සියලු දෙනා කොටු කරගත හැකි විය.
මේ අතර නාරාහේන්පිට ‍පොලිස් රෝහ‍ලේ ‍පොලිස් උප සේවය යටතේ සහකාර ‍පොලිස් අධිකාරි තනතුරේ සේවය කළ දන්ත වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනෙන්නේය. ඔහුගේ බිරිඳද දන්ත වෛද්‍යවරියක වූවාය.
කොළඹ ජාතික පාසලක ඉගෙනුම ලැබූ මොවුන්ගේ දරුවා විද්‍යා අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට ලිවීමට සූදානමින් සිටි අයෙකි. වීඩියෝ හා ඡායාරූප ශිල්පයේ අති දක්ෂයකු වූ මෙම සිසුවා ජාත්‍යන්තර තරගයකට ඉදිරිපත් කළ නිර්මාණයක් නිසා ඔහුට කැනඩාවේ ශිෂ්‍යත්වයක් ලැබි කැනඩාවට යාම ප්‍රමාද වූයේද උසස් පෙළ විභාගය නිසාය.
තම දරුවා වෛද්‍යවරයකු කරවීමට වෛද්‍ය පියාට අවශ්‍ය වුවද විභාගයට පාඩම් නොකරන දරුවා නවීන තාක්ෂණ මෙවලම් යොදාගෙන විභාගය ගොඩදැමීමට සැලසුම් කරන්නේ මේ අතරය.
ඒ අනුව පියාගේ කේ‍රඩිට් කාඩ්පතින්ම අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවා ඇමෙරිකන් ඩොලර් 780ක් වටිනා නවීන තාක්ෂණික උපාංගයක් චීනයෙන් ගෙන්වන්නේ ජුනි මාසයේදීය. බ්ලූටූත් තාක්ෂණය ඔස්සේ පිළිතුරු සපයා ගැනීමත් කමිස බොත්තමක හැඩයෙන් යුත් අධි තාක්ෂණික කැමරාවෙන් විභාගය යන අතරතුරේදීම නිවසේ ඇති ලැප්ටොප් පරිගණකයකට ප්‍රශ්න පත්‍රයේ ඡායාරූප පිටපත් කර යැවීමත් සිදුවන අධිතාක්ෂණික මෙවලමක් මෙසේ ගෙන්වාගෙන තිබුණේය.
එම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සඳහා ගුරුවරුන් තෝරාගැනීමද සිදු කරන්නේ පියා විසිනි.
එක් ගුරුවරයකුට ලක්ෂ දහය බැගින් රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර තුනට පිළිතුරු සැපයීමට නිවසට ගෙන්වා ගැනීමට කතා කර ගන්නේ ඒ අනුවය. චීනයෙන් ගෙන්වාගත් අධි තාක්ෂණික කැමරා උපකරණ යොදාගෙන ප්‍රශ්න පත්‍රය නිවසේ පරිගණකයට එවන ආකාරයත් පිළිතුරු ලබා ගන්නා ආකාරයත් දවස් හයක් තිස්සේ පාසල් සිසුවාට පෙරහුරුවක්ද දුන්නේ මේ අතරේය.
කලින් සැලසුම් කළ පරිදි රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීම සදහා පාසල් විභාග ශාලාවට ගිය සිසුවා තම කමිසයේ වූ කැමරාවෙන් විභාග ප්‍රශ්න පත්‍රය අතට ගත් විගස ඡායාරූපවල ග්‍රහණයට ගන්නේය.
කැමරාව ක්‍රියාත්මක කිරීම සඳහා වන ස්විචය කකු‍ලේ මාපටැඟිල්ලට යටින් අලවා ප්ලාස්ටරයක් අලවා සපත්තු මේස්වල දමාගෙන තිබුණේය. විභාග ප්‍රශ්න පත්‍රය බලන අයුරෙන් බොත්තම් කැමරාව දෙසට ළං කර කකුල පාගන සැණින් එය ඡායාරූප ගතවී කන්ටේ‍රා්ල් පැනලයේ වූ ජංගම දුරකථන සිම් කාඩ්පතින් අන්තර්ජාලය ඔස්සේ ඊමේල් ගිණුමට යන්නේය.
එය පාසල් සිසුවාගේ පියා සමග නිවසේ සිටින ගුරුවරයා විසින් පරීක්ෂා කොට උත්තර ලබා දෙන්නේ බ්ලූටූත් තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන ඔරලෝසු බැටරියටත් වඩා කුඩා කන ඇතුළට රිංගවා ඇති උපකරණයකිනි. කන ඇතුළට සියුම්ව රිංගවන මෙම උපකරණය පිටතට ගත හැක්කේ කාන්දම් කූරකිනි.
මේ අනුව අති දක්ෂයකු මෙන් නිවසේ සිටින ගුරුවරයා ලබා දෙන පිළිතුරු ලියන්නට පාසල් සිසුවා කටයුතු කරන්නේය.
ලක්ෂ දහයක මුදලට පිළිතුරු සපයන්නට කටයුතු කරන විද්‍යා ගුරු ජිතේන්ද්‍ර ඒ අතරේ තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නේ ලබන වසරේ පුනරීක්ෂණ පන්තිවලට දහස් ගණනක් ළමුන් ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිවය.
ඒ සඳහා තම බාල සොහෙයුරා ගම්පහ මුද්‍රණාලයකට යවා අත්පත්‍රිකාව හා ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ මූලික කටයුතු සකස් කර තිබුණේ තමා ඊමේලයක් එවූ සැණින් එය ග්‍රැෆික්කරුවකු ලවා ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කර මුද්‍රණය කිරීමටය. එය මුද්‍රණය කළ වහාම රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය ලියා එන ළමුන්ට උණු උණුවේම බෙදාදීම ඉලක්කය විය. විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු දෙන අතරේ තම බාල සොයුරාට විභාග ප්‍රශ්න පත්‍රයේ පිටපතක් ඊමේල් කරන්නේ තම පුනරීක්ෂණ පන්ති මෙහෙයුම වෙනුවෙනි.
ලක්ෂ දහයේ මුදලින් මෙම සැලසුම ක්‍රියාත්මක කරන අතර ගුරුවරයාගේ පියාව එදින උදෑසනම තොටළඟට යවා රුපියල් දෙදහසක් එක් අයකුට ගෙවන පදනම මත කාන්තාවන් රැගෙන ගොස් අත්පත්‍රිකා බෙදා හැරෙන්නේය.
අත්පත්‍රිකා සමග බෙදාහැරෙන ආදර්ශ ප්‍රශ්න පත්‍රය කතාබහට ලක්වී විභාග ප්‍රශ්න පත්‍ර පැන්නීමේ මූලික කාරණාව කරළියට එන්නේ මේ අයුරෙනි.
පියාගේ දැඩි වුවමනාව මත විභාගයෙන් ඉහළටම එන්නට කෙටි මාර්ගයක් සොයා ගිය පුතුට මෙන්ම වෛද්‍ය පියාටද අද මහ උළු ගෙයි තපින්නට සිදුව ඇත්තේ විභාග වංචා චෝදනාවටය.
‍පොලිස් විමර්ශනවලට බියෙන් සැඟවී සිටින රසායන විද්‍යා ගුරුවරයාද අත්අඩංගුවට ගත් විගස සිදුවන්නේ හිරේ තපින්නටය. කෙටි මාර්ග ඔස්සේ ඉහළට එන්නට තැත් කළ මෙම විද්‍යා ගුරුවරයා මෙන්ම අනෙක් ගුරුවරුන් දෙදෙනාද අද හෙටම රහස් ‍පොලිසියේ දැලට අසුවීම වළක්වා ගත නොහැකිය.
මෙම ගුරුවරයා අත්පත්‍රිකාව නොගසන්නට මෙම විභාග වංචාව කිසි දිනෙක අල්ලන්නට නොහැකි වන්නේය. දුප්පත් දුවා දරුවන් රෑ දහවල් නිදිමරා මහන්සි වී පාඩම් කර විභාග ලියද්දී බලපුළුවන්කාරයන්ගේ දරුවන් නවීන තාක්ෂණය ඔස්සේ මුදල් වියදම් කර විභාග ලියන්නේ මේ ආකාරයටය.
රහස් ‍පොලිසියේ දක්ෂ විමර්ශකයන් නොවන්නට මෙම ප්‍රශ්න පත්‍ර හොරකම සදා රහසක්ද වන්නේය. ඇතැම් විට මෙම සිසුවා රටේ ඉහළින්ම ලකුණු ගත් දරුවා ලෙස ප්‍රතිඵල ප්‍රතිඵලවලින් ඉහළටද ඒමටද ඉඩ තිබුණේය.
කොළඹ සල්ලිකාර දෙමාපියන්ගේ දුවා දරුවන් අතරේ මෙලෝ අධ්‍යාපනයක් නොලබා විභාග ප්‍රතිඵලවලින් ඉහළ ප්‍රතිඵල ලබා කරළියට එන දරුවන් මේ අයුරින් කලක සිට ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සැපයුවාද යන්න මේ වන විට ඇති දැවැන්ත ගැටලුව වී ඇත්තේය.
විභාග දෙපාර්තමේන්තුව විභාග ප්‍රශ්න පත්‍රවල සුරක්ෂිතතාව ඉහළින්ම පවත්වාගෙන ගියත් මෙවැනි අධි තාක්ෂණික මෙවලම් ඔස්සේ කෙරෙන විභාග වංචාවලට වැටබැඳීමට අසීරු කාරණාවක් වන්නේය.
ඒ ඇඟපත පරීක්ෂා කරවත් සොයා ගන්නට නොහැකි තරම් මේවා සියුම් නිසාය.
තම දරුවාට ඉහළ අධ්‍යාපනයක් දී ඉහළ රැකියාවක් දීම සෑම දෙමාපියකුගේම සිහිනයක් වන්නේය. මෙම දොස්තර පියා නවීන තාක්ෂණය ඔස්සේ වංචාවක් කර හෝ තම දරුවාත් වෛද්‍ය ක්ෂේත්‍රයට යවන්නට උත්සාහ ගත් බව පැහැදිලිය.
මෙය කුඩා සිදුවීමක් සේ සලකා අත්හැර දමන්නට ඇතැමුන් උත්සාහ කළද රහස් ‍පොලිසිය විමර්ශන නිසියාකාරව පැවැත්වූයේ රටේ ලක්ෂ සංඛ්‍යාත දරුවන්ගේ අනාගත සුබසිද්ධිය උදෙසාය.
එසේ නොවන්නට මෙවන් විභාග වංචාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ විභාග සම්බන්ධව ජාත්‍යන්තරයෙහි ප්‍රතිරූපය බිඳ වැටුණහොත් ඊට වඩා බරපතළ තත්ත්වයක් උද්ගත වනු නොඅනුමානය.
මෙම අභියෝගය ජය ගැනීම විභාග දෙපාර්තමේන්තුවට ඇති මීළඟ අභියෝගය වන්නේය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
tissaravindra@gmail.com
Description: Crime, Local News, Education, Sri anka exam paper scam Al Paper
Loading...